May 13, 2024

දොස්තර ඉදිරියේ චන්ඩියා වූ දේශපාලකයා අතුරුදන්!

කොවිඩ් එන්නත් ඉල්ලා යකා නැටූ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසූවේ මොරටුව, මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කළ බවයි.

මොරටුව පුරපතිවරයා තම ආධාරකරුවන් පිරිසකට ලබා දුන් අංක පිළිවෙළට අනුව එන්නත් ලබාදිම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරිය එන්නත් ලබාගැනීමට පැමිණි පිළිවෙළට එන්නත් ලබාදිමට ඊයේ(27) කටයුතු කිරීම නිසා පුරපතිවරයා හා වෛද්‍යවරිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. 

ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරිය ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. 

පොලිස් ආරංචි මාර්ග පැවසූවේ එම විමර්ශනවලන් ලැබෙන සාක්ෂි අනුව ඔහු යම් අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

අද උදෑසන ඔහුගේ නිවසට පොලිසියෙන් ගියද ඔහු එහි නොසිටි බව එම ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර එම සිද්ධිය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ඒෂියන් මිරර් වෙත පැවසූවේ එම සිද්ධිය පිළිබඳ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් වාර්තාවක් ඉල්ලූ බවයි.

කුමන බාධා පැමිණියද එන්නත්කරණ වැඩපිළිවෙල වෛද්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදුකරමින් පවතින බවද එන්නත්කරණ වැඩසටහනටත් දේශපාලනය මැදිහත්වීම අනුමත කළ නොහැකි දෙයක් බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(1 Vote)
Last modified on Friday, 28 May 2021 11:45