May 17, 2024

අලුත් මන්ත්‍රීවරුන්ට රට ජීප් රථ ගෙන්වීමට යයි - අදහස මහින්දගේ

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ජීප් රථ ආනයනය කර ලබාදීමට මුදල් අමාත්‍යාංශය සූදානම්වන බව වාර්තා වෙනවා.

මෙලෙස ආනයනය කෙරෙන්නේ පිරිවැය අතින් වාසිදායක වාහන බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට ලබා දුන් උපදෙසකට අනුව මෙය ක්‍රියාත්මකවන බව සඳහන්.

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් පවරා ඇති ක්ෂේත්‍ර සංවර්ධන අධීක්ෂණ කටයුතුවලදී ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා මෙලෙස ජීප් රථ ලබා දීමට යි අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත්තේ.

මුදල් ගෙවීමේ පදනම යටතේ මන්ත්‍රීවරුන් සඳහා මෙම වාහන ලබාදීමට සැලසුම් කර ඇති බව පැවසෙනවා.

මෙතෙක් ක්‍රියාත්මක කළ තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව නතර කර ඇති අතර මූල්‍ය ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා වාහන ආනයන සීමා තවදුරටත් පවත්වා ගෙන යන බව  මුදල් අමාත්‍යාංශය ද පවසනවා.

මේ හේතුවෙන් කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, වනජීවි හා වන සංරක්ෂණ ක්ෂේත්‍ර සඳහා ද තෝරාගත් වාහන සීමිත ප්‍රමාණයක් කඩිනමින් ගෙන්වීමට සැලසුම් කර ඇති බව පුවත් වාර්තා සඳහන් කරනවා. 

එහි දී ගිලන් රථ 50ක්, වතුර බවුසර් 50ක්, ඩබල් කැබ් රථ 50ක්ද මිලදී ගැනීමට නියමිත බව සඳහන්. 

මෙලෙස ආනයනය කිරීමෙන් විදේශ විනිමය දුෂ්කරතා අවම කරගත හැකි බව අමාත්‍යාංශයේ අදහස වී තිබෙනවා.

එසේම මෙම වාහන මෙරට ප්‍රධාන පෙළේ වාහන සමාගමකින් මිලදී ගැනීමටද මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇති බව වාර්තා වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 May 2021 09:54