May 10, 2024

හමුදාපති සහ ජොන්ස්ටන් එක මතයකට එයි

කොවිඩ් 19 වසංගත තත්ත්වයේ මේවන විට පවතින අවදානම සළකා බැලූ විට පවතින සංචරණ සීමාවන්ට එහා ගිය සීමාවන් පැනවිය යුතු බව ඊයේ (21) වෛද්‍ය සංගම් සියල්ල ප්‍රකාශ කොට සිටියා.

දින 14ක ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම සුදුසු බවටයි ඔවුන් පැවසූවේ.

මේවන විට ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා අතරතුර පැය කිහිපයකට යළි පැය කිහිපයක් රට විවෘත කිරීමත්, හැඳුණුම්පත් අංක ක්‍රමය අනුව සංචරණයට අවසර දීමත් ආදී දෑවලින් මේ අවස්ථාවේ දී සිදුවන්නේ රෝගය බෝ වීම මිස පාලනය වීමක් නොවන බව ඔවුන් අවධාරණය කළා.

මෙයට ප්‍රතිචාර ලෙස අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසූයේ, විශේෂඥ වෛද්‍ය සංගම් ආදිය සිය අදහස් ජනාධිපතිවරයා ඉදිරියේ නොකියා මාධ්‍ය සාකච්ඡා හරහා ජනතාවට ප්‍රකාශ කිරීම ගැටළුවක් බව යි.

මෙලෙස ජනතාව ඉදිරියට පැමිණ අදහස් ප්‍රකාශ කරන පුද්ගලයින් කොවිඩ් මර්ධන කාර්ය සාධන බලකාය පවත්වන රැස්වීම්වලට ද සහභාගිවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉන් ඇතැම් සංගම් ආදිය ජනාධිපතිවරයා සහභාගීවන රැස්වීම්වලට ද සහභාගිවන බව පැවසූ යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ තවත් බොහෝ පිරිසක් තම ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීම් සඳහා සහභාගිවන බවයි.

එවන් පසුබිමක වෛද්‍ය සංගම් ආදිය නියෝජනය කරන පුද්ගලයින් සිය අදහස් එම රැස්වීම්වල දී නොපවසා ජනතාව ඉදිරියේ පැවසීම නොසුදුසු බව ඔහු පවසනවා. 

ඊයේ දින ජනාධිපතිවරයා සහභාගී වූ රැස්වීමේ දී වෛද්‍ය සංගම් විසින් මතු නොකළ යෝජනා සවස ප්‍රවෘත්ති නැරඹීමේ දී තමන් දුටු බවත් එසේ නොකොට දැනුම් දිය යුතු පුද්ගලයින්ට මෙවැනි දෑ දැනුම් දිය යුතු බවත් ඔහු සඳහන් කරනවා.

එමෙන්ම ප්‍රකාශ කිරීමට ඇති දෙයක් තමන්ට ප්‍රකාශ කිරීම හැර පිටත දී ප්‍රකාශ කිරීම නොසුදුසු බව ජනාධිපතිවරයාම ප්‍රකාශ කළ බව යුද හමුදාපතිවරයා පවසා සිටිනවා.

හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ “කියන දෙයක් අපේ කාර්ය සාධක බලකායට කිව්වා නම් ඒක සාකච්ඡාවට භාජනය කරලා සුදුසුම ක්‍රියාවලිය ගන්න පුළුවන්” යනුවෙන්.

කොවිඩ් මර්ධන කාර්ය සාධන බලකාය ඊයේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ රජයේ නිලධාරීන් සහ වගකිවයුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් ජනතාව බියට පත් කරන බවයි.

ඒ වෙනුවට යම් කරුණක් වේ නම් ඍජුව තමන් වෙත දැනුම් දීම සුදුසු බව ඔහු ප්‍රකාශ කොට සිිටියා.

මේ අතර වෛද්‍ය සංගම්වල ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා සිටියේ, සියළු දෙනාගේ අදහස් ක්‍රියාත්මක කරන්නේ නම් රටකට ජනාධිපතිවරයෙකු අවශ්‍ය නොවන බවයි.

“කොළඹ හතේ අය කියන දේවල් අනුව තීරණ ගන්නවා නම් ඒක බහුතර ජනතාවට කරන අසාධාරණයක්. අපිට බලන්න පුළුවන් එන සුමානෙ වෙන්නෙ කොහොමද කියලා. බලලා ඉවර වෙලා අපි මේ තීන්දු තීරණ ගමු. අපි මේකට බයවෙන්න හොඳ නෑ. අපි මේකට මුහුණ දෙන්න ඕනෙ. මුහුණ දුන්න ජාතියක්. පළවෙනි රැල්ලට අපි මුහුණ දුන්නා. දෙවැනි රැල්ලට මුහුණ දෙන්න බැරිවෙයි කියලා කිව්වත් අපි මුහුණ දුන්නා. අපි මේ තුන්වෙනි රැල්ලටත් මුහුණ දීලා ජයග්‍රාහී ලෙස එළියට එමු. ජනාධිපතිතුමා මොකද්ද ඉල්ලුවේ? මාධ්‍යට ඇවිත් කතා කරන්න එපා, එන්න මං වෙලාව දෙන්නම්. එතකොට අපිට පුළුවන්. මාධ්‍යට ගිහින් ජනතාවට කියලා හරියන්නෙ නෑනෙ රට ලොක්ඩවුන් කරන්න කියලා. ජනාධිපතිතුමාට තමයි ගිහිල්ලා කතා කරන්න ඕනෙ. එහෙම නැතුව හැම මුල්ලකම ගිහිල්ලා ප්‍රකාශ කරනවා නම්, ජනාධිපතිතුමා සහ ආණ්ඩුව ඇහුම්කන් දෙන්නෙ නෑ කියන මතය දෙන්නයි හදන්නේ”

සංචරණ සීමා පණවා ඇති දින කිහිපයෙන් පසු ලෙඩුන් ගණන සහ මරණ ගණන පිළිබඳ තත්ත්වය බලා ඉදිරියේ ගන්නා තීන්දුව පිළිබඳ තීරණය කළ යුතු බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 May 2021 11:18

Related items