May 01, 2024

සහල් මාෆියාව ජයටම - නිෂ්පාදනයත් අඩපණයි Featured

වී මිල තවදුරටත් ඉහළ යා හැකි බවට පවතින මතය හේතුවෙන් බොහෝ පිරිස් වී තොග රැස්කිරීමට කටයුතු කිරීමෙන් සහල් නිෂ්පාදනය අඩපණ වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා සඳහන් කරන්නේ අවශ්‍ය මුදල් වෙන් කළ ද ආරක්ෂිත සහල් තොග තබා ගැනීමට ඊට අදාළ අංශ අසමත් වී ඇති බවයි.

සහල් වංචාවක් සිදුව ඇති බවට පවසමින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එම සංගමය ඊයේ (26) අල්ලස් කොමිසම හමුවට පැමිණ සිටි අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට ආරක්ෂිත සහල් තොගයක් තබා ගැනීමට පසුගිය වසරේ මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 300ක් වෙන් කර තිබූ බවත් එම මිලියන 300 නිකුත් කර මාස 6ක් 7ක් ගත වුවද අදවන තුරු එම මුදල්වලින් නිෂ්පාදනය වුණු සහල් තොගය ලංකා සතොසට ලැබී නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

"අපිට ලැබෙන තොරතුරු අනුව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ මැදිහත්වීමෙන් පුද්ගලික අංශයට අලෙවි කරලා තියෙනවා ආසන්න වශයෙන් රුපියල් මිලියන 2000ක පමණ සහල් තොගයක්. එහෙම තත්ත්වයක් තුළ තමයි ආරක්ෂිත සහල් තොගයක් ලෙස ඉන්දියාවෙන් පොන්නි සම්බා මෙට්‍රික්ටොන් 25,000ක් ආනයනය කරන්න හදන්නේ. මේ සහල් මාෆියාවට පිළිගත හැකි විසඳුමක් අවශ්‍යයි. හැමකෙනාම හිතනවා වී මිල තවත් ඉහළ යයි කියලා. හැමෝම වී තොග රැස් කරනවා. හාල් නිෂ්පාදනය කරන්න නෙමෙයි උනන්දුව තියෙන්නේ. වී තොග රැස්කරලා වී මිල වැඩි කරන්න." යැයි මුදිත පෙරේරා මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)