May 01, 2024

රටපුරා හාල් හිඟයක් - හාල් සැඟවීමේ මාෆියාවක් ක්‍රියාත්මකයි

වෙළෙඳපොළේ සහල්වල හිගයක් පවතින බව වාර්තාවේ.

ආණ්ඩුවේ මිල ගණන්වලට සහල් සිල්ලරට අලෙවිකළ නොහැකි හෙයින් සහල් තොග වෙළඳසැල්වලට ලබා නොගන්නා බව ද එම නිසා සහල් වල හිඟයක් පවතින බවද සිල්ලර වෙළෙන්දෝ පවසති.

මේ අතර නාඩු කිලෝවක සිල්ලර මිල රුපියල් 105 ද සම්බා කිලෝවක මිල රුපියල් 120 ක් ද රතුකැකුළු සහ සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 105 ක්ද වශයෙන් වෙළඳපොලේ අලෙවිකරන බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

මේ අතර සහල් සැඟවීමේ මාෆියාවක් ක්‍රියාත්මක බව රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම අවධාරණය කළේය.

කෙසේ වෙතත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරන්නේ රජය සහල් මිල ඉහළ යෑමට ඉඩහැර සහල් ආනයනය හරහා වංචාවක් කිරීමට සූදානම් වන බවයි.

පසුගිය දා නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ඉහළගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නා බවයි.

“කොවිඩ් නිසා පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට සාධාරණ මිලට සහල් සපයන්න බැරි වුණොත් හිඟයක් ඇති කළොත් අපි විශාල සහල් තොගයක් ගේනවා. එසේ කිරීමෙන් වෙළෙඳපොළට අඩු මිලට හාල් සපයන්න කැබිනට් අනුමැතියක් ලබා ගන්න මම බලාපොරොත්තු වෙනවා.” එහිදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යයවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)