May 12, 2024

එජාපයට වැඩපිළිවෙලක් නැතැයි කියමින් අර්ජුනත් තනතුර අත්හරියි

ඉදිරි ගමන සඳහා සාධනීය වැඩපිළිවෙලක් හෝ සංවිධානයක් සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂය අපොහොසත්ව ඇති හෙයින් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තමන්ට පිරිනැමූ ජ්‍යේෂ්ඨ උපසභාපති ධුරය භාරනොගෙන ප්‍රතික්ෂේප කරන බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. 

2020 මහමැතිවරණයෙන් ලැබූ අන්ත පරාජයෙන් පසුවත් තමන් පක්ෂය සමග රැඳුනේ වත්මන් සහ අනාගත අභියෝග ජයගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කෙරෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් වන නමුත් මේ වනතෙක්ම එවන් වැඩපිළිවෙලක් හෝ සංවිධානයක් දක්නට නොමැති බව ඒ මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

මීට පෙර හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා ද තමන් දරණ පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සුදුසු වෙනත් අයෙකුට පවරන්නේ නම් ඊට විරුද්ධත්වයක් නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණි. 

මේ අතර අර්ජුන රණතුංග මහතා සහ නවීන් දිසානායක මහතා ඊයේ (28) දිනයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද කැඳවා ඇතැයි වාර්තා විය. 

Rate this item
(0 votes)