May 18, 2024

ධම්මික බණ්ඩාර පිටුපස සිටින හිටපු ඇමැති බෑනා ගැන හෙළිවෙයි - කොරෝනා බෙහෙතට ආණ්ඩුවේ සහය අරන් දුන්නේ ඔහුයි

December 07, 2020

කොරෝනාවට තමා දේශීය ඔසුවක් සොයාගත් බව කියන කෑගල්ලේ, හෙට්ටිමුල්ලේ, උඩුමාගම ඩී.එම්. ධම්මික බණ්ඩාර මහතා හිටපු අමාත්‍යවරයකුද වන අතාවුද සෙනෙවිරත්න මහතා සමග සමීපව කටයුතු කළ පුද්ගලයෙකු බව වාර්තා වේ.

ඔහුගේ බෑණා කෙනකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය කාන්ත ගුණතිලක මහතා සමගද සමීපව කටයුතු කර ඇති ධම්මික බණ්ඩාර මහතා තමන් සොයා ගත් ඖෂධය දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයටද රැගෙන එන්නේ එම සබඳතා හරහා බව අනාවරණය වී තිබේ.

පසුගිය 02 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවේදී මෙම ඖෂධය සම්බන්ධව ඉදිරි කටයුතු සඳහා වෛද්‍ය ක්ෂේත්‍රයේ මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් මඬුල්ලකගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත. මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ඖෂධ නිෂ්පාදන නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ ඇතුළු මහත්ම මහත්මීන් මෙන්ම වතුපිටිවල රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ද ධම්මික බණ්ඩාර වෙද මහතා ද සහභාගි වූහ.

මෙම ඖෂධය ශ්‍රී ලංකාවට මෙන්ම මුළු ලෝකයටම ලබා දීමට විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව පර්ෙය්ෂණ කිරීම සඳහා යෝජනා මාලාවක් සකස් කළ යුතු බව තීරණය විය. ඒ අනුව එම යෝජනා මාලාව කඩිනමින් සකස් කිරීම සඳහා විශ්වවිද්‍යාලවල වෛද්‍ය ක්ෂේත්‍රයේ මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය වී ඇත.

මෙම ඖෂධය පිළිබඳව ජනාධිපතිවරයාගේද විශේෂ අවධානය යොමු වී ඇති බැවින් ඖෂධයට අදාළ ඉදිරි පර්ෙය්ෂණ කටයුතු රාජ්‍ය මට්ටමින් සිදු කරන බවත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවල සහාය ද ලබාදෙන බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් ධම්මික බණ්ඩාර මහතා දේශීය වෛද්‍යවරයෙක් හෝ පාරම්පරික වෛද්‍යවරයෙක්ද නොවන බවත් ඔහු නිෂ්පාදනය කළ බෙහෙත අවට පොලිස් ස්ථානවල නිලධාරීන්ටද පෙවීමට සමත් වූ පුද්ගලයෙක් බවත් ගම්වාසීන් පවසති.

කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහටද මෙම නිෂ්පාදනය සෙවීමට ඔහු උත්සාහ කළත් ව්‍යාර්ථ විය. නමුත් මෙම නිෂ්පාදනයේ සත්‍ය අසත්‍යභාවය සෙවීමට වෛද්‍යවරයාද සූදානමින් සිටියි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා පිළිබඳ ආයුර්වේද ​වෛද්‍ය සභාවටද පැමිණිල්ලක් ලැබී තිබේ.

ධම්මික බණ්ඩාර මහතාට විරුද්ධව කෑගල්ල පොලිසියේ නඩුවක්ද පවරා තිබේ. ඒ ඉඩම් නඩුවක් වන අතර රිමාන්ඩ් භාරයේද සිටි ධම්මික බණ්ඩාර මහතා නඩුවෙන්ද සමථයකට පත්ව භද්‍රකාලි දේවාලය පවත්වා ගෙන ගොස් ඇතැයි ගම්වාසීන් පවසයි.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 December 2020 15:02

Related items