January 17, 2025

ධම්මික පැණිය ගැන තීන්දුවට සූදානම්! සායනික පරීක්ෂණ අතුරු වාර්තාව ලඟදීම

February 23, 2021

කොවිඩ් වෛරසයට ප්‍රතිකාරයක් යැයි කියමින් නිෂ්පාදිත ‘ධම්මික පැණිය’ දැනට කර තිබෙන පරීක්ෂණ සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් ඉදිරි සති තුනක පමණ කාලයක් ඇතුළත නිකුත් කළ හැකි වනු ඇතැයි රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආරංචි මාර්ග පවසයි.

එම වාර්තාවෙන් පසු සායනික පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු ද යන්න තීරණය කෙරෙන බවත් එම පැණිය විවේචනය කරමින් මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන තොරතුරු ද පරීක්ෂණ සඳහා යොමු වීමේ ප්‍රවණතාව අඩු වීමට හේතු වන්නට ඇති බවත් එම ආරංචි මාර්ග පැවසීය.

මේ අතර එම පැණිය සම්බන්ධයෙන් කෙරෙන සායනික පරීක්ෂණ සඳහා පුද්ගලයන් යොමු වීමේ ප්‍රවණතාව ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව පරීක්ෂණ සඳහා කැමැත්ත පළ කරන පුද්ගලයන් සංඛ්‍යාව සියයට දහයේ සිට සියයට තුනක් දක්වා අඩු වී තිබේ.

එම පරීක්ෂණ කටයුතුවලට යොමු කෙරෙන්නේ වෛද්‍ය පීඨයට ආසන්න රෝහල් දෙකකට වෙනත් රෝගාබාධ සඳහා නේවාසිකව ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් ය. අමතර ආබාධවලින් තොර, සති දෙකක කාලයක් පරීක්ෂණ කටයුතු සඳහා නේවාසිකව සිටිය හැකි රෝගීන් මේ සඳහා යොදා ගැනේ.

එවැනි රෝගීන් සියදෙනකුගෙන් දස දෙනෙක් පමණ පරීක්ෂණය සඳහා කැමැත්ත පළ කළ නමුත් මේ වන විට එම සංඛ්‍යාව සියයට තුනක් හතරක් දක්වා අඩු වී ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කළේය.

පරීක්ෂණය සඳහා පුද්ගලයෝ එකසිය විසි අට දෙනෙක් යොදා ගත යුතු වන අතර තවමත් ඉදිරිපත්ව ඇත්තේ පනස් දෙනෙක් පමණකි.

Rate this item
(0 votes)

Related items

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449