May 21, 2024

සිංහල ඉගෙන කොළඹ වරාය නගරයේ රස්සා කරන්න එන්න ඉන්න චීන තරුණ තරුණියෝ (VIDEO)

වරාය නගරයේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව සමාජ මාධ්‍ය තුළ චීනය පිළිබඳව බොහෝ අදහස් හුවමාරු වෙමින් තිබේ. 

ඒ අතර චීන ජාතිකයන් විසින් සිංහල භාෂාවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කරනු ලබන කතා මෙන්ම වීඩියෝ ද අයත් වන අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකු විවිධ අදහස් දරමින් සිටියි.

බිජිං විශ්ව විද්‍යාලයේ සිංහල භාෂාව හදාරන චීන තරුණ තරුණියන් පිරිසක් විසින් විනෝද චාරිකාවක් අතර සිංහලෙන් අදහස් ප්‍රකාශ කරගන්න ආකාරය දැක්වෙන වීඩියෝවක් ඒෂියන් මිරර් වෙතද හමුවිය.

මෙහිදී ඔවුන් සියලු දෙනාටම සිංහල නමක් ද ඇති අතර ඉතාමත් හොඳින් සිංහල භාෂාව හසුරුවන ආකාරයද මෙහිදී දැකගත හැකිය.

ඔවුන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ ප්‍රශ්න අසමින් ඒවාට පිළිතුරු ලබාදෙන අතර ශ්‍රී ලංකාවේ උසම කන්ද කුමක්දැයි ඇසූ ප්‍රශ්නයක් හමුවේ ඔවුනට පිළිතුරු ලබාදිය නොහැකි වූ අතර එය අමාරු ප්‍රශ්නයක් බවද සඳහන් කර සිටියහ.

එම චාරිකාව අතර ඔවුන් කියා සිටින්නේ ශ්‍රී ලංකාව සුන්දර රටක් බවත් ඒ නිසා තමන් සිංහල භාෂාව ඉගෙන ගන්නට ප්‍රිය කළ බවයි. ඔවුන් අතරින් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා සුදානම් වීමට උත්සාහ කළත් පැවැති කොරෝනා වසංගතය හේතුවෙන් එය කිරීමට නොහැකි වූ බවද සඳහන් කර සිටියා.

එහිදී එක් චීන තරුණයෙකු විසින් කියා සිටියේ ශ්‍රී ලංකාවට යන්න සුදානම් වුණත් වසංගතය හේතුවෙන් යෑමට නොහැකි වූ බවයි. එමෙන්ම සිංහල භාෂාව හොඳින් ඉගෙන ගන්නා බවත් ඉන්පසුව ශ්‍රී ලංකාවට යෑමට හැකි බවත් වරාය නගරය හෝ කොළඹ නගරයේ රස්සාවක් සොයා ගත හැකි බවද සඳහන් කර සිටියේය.

චීන තරුණ තරුණියන් සිංහල භාෂාව හසුරුවන ආකාරයත් ලංකාව ගැන අදහස් පළ කරන ආකාරයත් දැක්වෙන වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)