May 10, 2024

කාර්යාලයේදී දැරිය දූෂණය කළ ග්‍රාම සේවක මාට්ටු

රාජකාරි කටයුත්තක් සදහා පැමිණි වයස අවුරුදු 16ක තරුණියකට තම කාර්යාලය තුළදී අතවර කළ බව කියන ග්‍රාම නිලධාරීවරයෙකු පුත්තලම දිසා ලේකම් කාර්යාලය වෙත ස්ථාන මාරු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙසේ ස්ථාන මාරු කර ඇත්තේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේවය කරමින් සිටි ග්‍රාම නිලධාරීවරයෙකුය.

2010 වසරේ ග්‍රාම නිලධාරී පත්වීම් ලබා ඇති මෙම නිලධාරියා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 637/2 රාල්මඩුව ග්‍රාම නිලධාරීවරයා ලෙස සේවය කරමින් සිට ඇත.

එම වසරේම දිනක ප්‍රදේශයේ පදිංචි තරුණියක් රාජකාරි කටයුත්තක් සදහා ඔහුගේ කාර්යාලයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී සැකකාර ග්‍රාම නිලධාරීවරයා තමන්ව දුෂණය කළ බව සිද්ධියට මුහුණ දුන් අදාළ තරුණිය වනාතවිල්ලුව පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව පරීක්ෂණ සිදු කර ඇති පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදා හැර ඇත.

ඒ සම්බන්ධයෙන් වූ නඩුව මේ වන විට පුත්තලම මහාධිකරණයේ විභාග වෙමින් පවතින අතර මෙම මස 09 වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය.

රාජකාරි කටයුත්තක් සදහා ගිය තරුණියකට ලිංගික අතවර සිදු කළ ග්‍රාම නිලධාරීවරයෙකුට එම ප්‍රදේශයේම නැවත සේවය කිරීමට අවස්ථාව ලබා දීම සදාචාර විරෝධී ක්‍රියාවක් බව ප්‍රදේශවාසීන් විසින් ප්‍රකාශකර සිටින අතර ඔවුන් මේ සම්බන්ධයෙන් පුත්තලම දිසා ලේකම්වරයාට මෙන්ම රාජ්‍ය පරිපාලන ඇමතිවරයාටද, ජනාධිපතිවරයාටද දන්වා ඇත.

තම පරිවාස කාලය ඉක්මවා යාමට ද පෙර මෙවැනි ක්‍රියාවක නිරත වූ ග්‍රාම නිලධාරීවරයෙකුට එම ප්‍රදේශයේම රාජකාරි පැවරීම අගතියට පත් පාර්ෂවයට කරන හානියක් බවද ඔවුන් පෙන්වා දී තිබේ.

පුත්තලම දිසා ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා, "අදාල ස්ථාන මාරුව සිදු කර ඇත්තේ රාජ්‍ය පරිපාන අමාත්‍යාංශයෙන්. අප කරන්නේ ඉහලින් ලැබෙන නියෝග අනුව කටයුතු කිරීමයි. ඒ අනුව මෙම ස්ථාන මාරුව ක්‍රියාත්මක කරන ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා." යැයි කියාසිටියේය.

ජුඩ් සමන්ත - පුත්තලම

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 May 2016 11:49