May 11, 2024

ආණ්ඩුවට එරෙහි වූ එජාප මන්ත්‍රීන් තුනකට වැඩ වරදී 

රජයේ මූලික ප්‍රතිපත්තිවලට එරෙහි ප්‍රකාශ නිකුත් කිරීම හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ තීරණ අභිබවා කටයුතු කිරීම යන කාරණා මත එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකු ලබන සතියේ පක්ෂයේ විනය කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. 

මාත‍ලේ, ගම්පහ සහ මාතර දිස්ත්‍රික් නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන් තිදෙනා කැඳවනු ලබන විනය කමිටුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, ඇමති මලික් සමරවික්‍රම හා මහ ‍ලේකම්, ඇමති කබිර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

රජයේ ප්‍රතිපත්ති අභියෝගයට ලක් කරමින් දිගින් දිගටම ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීම යන චෝදනාව මන්ත්‍රීවරුන් දෙදෙනකුට එල්ල වී තිබේ. 

අනික් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ ගත් තීරණයකට එරෙහිව කටයුතු කිරීම පදනම් කරගෙන චෝදනා එල්ලවී ඇත. එම චෝදනා පදනම් කරගෙන මෙම තිදෙනා විනය කමිටුව හමුවට කැඳවනු ලබයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 31 May 2016 02:44