April 27, 2024

ශ්‍රීලනිප මහ ලේකම් සමග මහින්ද එජාප සැමරුමට

September 09, 2016

එක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සරයට තමන් සහභාගි වන බවත් ඒ සඳහා එජාප මහලේකම් කබීර් හෂීම් මහතා තමාට හා මහින්ද සමරසිංහ මහතාට ආරාධනා කළ බවත් ආරාධනාව ප්‍රතික්ෂේප කිරිමට කිසිම හේතුවක් නොමැති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මහනුවර, ගන්නෝරුව පැළෑටි හා ජාන සම්පත් ශාලාවේ ඊයේ (08) පැවැති වාර්ෂික කෘෂිකර්ම සම්මේලනයට සහභාගි වූ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් එසේ පැවසීය.

මෙතෙක් ශ්‍රී ලනිප සම්මේලනයකට පැමිණි ඉහළම පක්‍ෂ සාමාජිකත්වය කුරුණෑගල සමුළුවේදී දැකගත හැකි වූ බවද මහින්ද රාජපක්‍ෂ මහතා සමුළුව මගහැර යද්දී ඒකාබද්ධ විපක්‍ෂයේ අය සමුළුවට සහභාගි නොවන ලෙස පක්‍ෂ සාමාජිකයන්ට ආයාචනා කරද්දී පුද්ගල වන්දනාවේ නොගිය නියම ශ්‍රී ලනිප සාමාජිකයන් අතිවිශාල පිරිසක් සම්මේලනයට සහභාගි වීමෙන් අන්ද මන්ද වූ දේශපාලන අනාථයන් අද විවිධ චෝදනා නඟන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

බිම් මට්ටමේ ජනයා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වටා එකා මෙන් එක් රැස්ව සිටින බව කුරුණෑගල පක්ෂ සංවත්සරයට පැමිණි අති විශාල පිරිස විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා මුළු ලෝකයටම ඉගැන්වූ බව හෙතෙම සදහන් කළේය.

ශ්‍රීලනිප සම්මේලනයට කිසිදු එජාප සාමාජිකයෙක් සහභාගි නොවූ බවත් ඒ අයුරින්ම එජාප සම්මේලනයට කිසිදු ශ්‍රී ලනිප සාමාජිකයකු සහභාගි නොවනබවත් කිසිවක් කර කියා ගත නොහැකිව අනාථව සිටින ඇතැම් දේශපාලන අඳ බාලයන් කියන කතා අවඥාවෙන් යුක්තව බැහැර කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 September 2016 12:23