May 13, 2024

එජාපයේ ගැටුමක් කරළියට: 'අද පාඨලී කරන්නේ ගෝඨා කරපු දේමයි' - එජාප ඇමතිගෙන් පෙත්සමක්

අහිංසක මිනිසුන්ගේ දේපල පවරාගෙන නව නගර සැලසුම් ඉදිරිපත් කිරීම පක්ෂයේ ප්‍රතිපත්තිය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (25) පෙරවරුවේ, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් සිදු කර ඇති ප්‍රශ්නකාරී ඉඩම් පවරාගැනීමක් සම්බන්ධයෙන් අභියාචණාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට සහභාගී වෙමිනි.

වත්මන් ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් ද ඉතා කණගාටුදායක අයුරින් පෙර ආණ්ඩුවේ ප්‍රතිපත්ති, එලෙස ම ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බව දක්නට ඇති බව අමාත්‍යවරයා පැවසී ය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා මෙසේ ද පැවසීය.

"මම කියන්න කණගාටුයි, අද පාඨලී ඇමතිතුමාත් කරන්නේ ගෝඨාභය මහත්තයා කරපු දේමයි. මේ වේරැස්ගඟ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අවම ඉඩම් ටික විතරක් අරගෙන ඉතුරු ඉඩම් සාමාන්‍ය මිනිස්සුන්ට ආයේ ආපසු දෙන්න කියලා මම කියනවා. මෙගාපොලිස් සංකල්පය අගමැතිතුමා ඉදිරිපත් කළේ සිංගප්පූරුව, මැලේසියාව වගේ අද දියුණු වෙලා තියන රටවල් අනුගමනය කරන ප්‍රතිපත්ති අනුගමනය කරලා ක්‍රියාත්මක කරන්න මිසක්, අහිංසක මිනිස්සුන්ගේ ඉඩම් පවරාගෙන ඒ අය අපහසුතාවට පත් කරන්න නෙවෙයි. කුණුකොල්ලෙට මිනිස්සුන්ගේ ඉඩම් අරගෙන ව්‍යාපෘති කරන එක අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නෙවෙයි. නමුත්, පක්ෂයට රිංගාගත්ත අය පක්ෂේ ප්‍රතිපත්ති විනාශ කරන්න හදනවා. ඒකට අපි ඉඩ තියන්නේ නෑ කියලාත් මම කියනවා.

“මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ගංවතුර පාලනය කරන්න කියලා. නමුත්, මෙම ප්‍රධාන මාර්ගය අසල තියන ඉඩමෙන් ඉවත් කරන පස් ගිහිං දාන්නේ තවත් වගුරු බිමකට. ගෝඨාභය රාජපක්ෂ මහත්තලා, අපි විපක්ෂයේ ඉන්නකොට අපිට පුළුවන් කරම් කරදර කළා. සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආණ්ඩුවට පවරා ගත්තා කැලෑ නීතියකින්. ඊට පස්සේ මගේ ඇඟලූම් කර්මාන්ත ශාලා කඩන්න නොයෙක් උත්සාහ ගත්තා. දැන් අපේ ආණ්ඩුවක් ඇවිල්ලත් අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඒ වගේ අත්දැකීමකටමයි. අපිටත් පුළුවන් ඕනේ නම්, සමහර අය කරනවා වගේ එතනට ගිහිං බලය පාවිච්චි කරලා මේවා නතර කරන්න. හැබැයි, අපි යහපාලනය ගරු කරන අය හැටියට, අපේ දුක්ගැනවිල්ල කියන්න තියන තැනට අද ඇවිත් ඒ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළා."

බොරලැස්ගමුව ප්‍රදේශයේ ක්‍රියාත්මක, වේරැස්ගඟ ව්‍යාපෘතිය සඳහා ඉඩම් පවරා ගැනීමේ දී පාර්ශව කිහිපයකට අසාධාරණයක් සිදුව ඇති බව මෙම පෙත්සම මඟින් අභියාචණාධිකරණය වෙත දැනුම් දී තිබේ.

මෙම පෙත්සම සලකා බැලු අභියාචණාධිකරණය, අදාල ඉඩම් ආශ්‍රිත සිදු කරන සියලූ මැදිහත්වීම් පෙබරවාරි මස 5 වැනිදා දක්වා අත්හිටුවමින් නියෝගයක් නිකුත් කළේය. 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 26 January 2016 10:49