May 13, 2024

එජාපය සමග වැඩ කරන්න චන්ද්‍රිකා තීන්දු කරයි  

කරන්න දෙයක් නොමැති නිසා තමා තීන්දුව ගත් බවත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් සහ මේ රටේ ප්‍රගතිශීලී ජනතාවගෙන් එක්සත් ජාතික පක්ෂ සමග එකතු වී වැඩ කරන ලෙස ඉල්ලා සිටින බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. 

රාජපක්ෂලා පැමිණ තමන්ට වෙන ලකුණක් නැති කළ බැවින් එජාපයේ  ලකුණට ඔවුන්ට ඡන්දය දීමට සිදු ව ඇති බව ඇය සඳහන් කළා ය.

හිටපු ජනපතිනිය මේ බව පැවසූවේ පසුගිය දා සාධාරණ සමාජයක් සඳහා පුරවැසි බලය සංවිධානය විසින් සංවිධාන කළ අගලවත්ත, මීගහතැන්න නගරයේ පැවති ජන හමුවක දී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු ජනාධිපතිනිය මෙසේ ද පැවසීය,

"දැන් අපට කියන්න තියෙන්නේ එකම දෙයයි. ලෝකේ කිසිම ප්‍රශ්නයකට විසඳුමක් නැත්තේ නෑ. සමහරවිට විසදුම් බොහොම පහසුයි. සමහර විසඳුම් ඉතාම අමාරුයි. මේක එවැනි අවස්ථාවක්. නමුත් කරන්න දෙයක් නෑ. මම තීන්දුව අරගෙන තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් සහ මේ රටේ ප්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එක්සත් ජාතික පක්ෂ සමග එකතුව වැඩ කරන්න. මේ වෙලාවේ අපිට ඉතාම දුර්ලභ ගණයේ තීන්දුවක් ගැනීමට සිදු වී තිබෙනවා. ලංකා ඉතිහාසයේ කවදාවත් මේ වගේ සිදුවීම් වෙලා නෑ. අපේ පක්ෂය විනාශ කරලා මේ රටේ මහා විනාශයක් කරපු කල්ලියක් මේ රටේ බලයට එන්න උත්සාහ කරන කොට අපි විරුද්ධව කටයුතු කරපු එක්සත් ජාතික පක්ෂය සමග සමග එකතු වෙලා කටයුතු කරන්න අපිට සිදු වෙලා තියෙනවා. අපි කවුරුත් යූඑන්පී කාරයෝ නෙවෙයි. අපි යූඑන්පී එකට බැඳෙන්නෙත් නෑ. නමුත් යූඑන්පී එකේ ලකුණට අපිට  ඡන්දය දෙන්න වෙයි.“ 

“රාජපක්ෂලා ඇවිල්ලා වෙන ලකුණක් අපිට නැති කෙරුවා. බුලත් කොළය මගේ අතින් ඇඳලයි මම යෝජනා කළේ. බුලත් කොළෙත් අපට නෑ. අතත් මේ වෙලාවේ අපට දෙන්න බෑ කියලා පක්ෂයේ මහ ලේකම් කිව්වා. ඇයි අර හොරකම් කරපු සල්ලි හැමතැනම විසි කෙරුවනේ. හුඟ දෙනෙක් ඒවට තමයි යට උනේ." යැයි ඇය පෙන්වා දුන්නා ය.

"ඇයි දෙයියනේ මේ රටට මත්කුඩු ගෙන්වන ප්‍රධානම මුදලාලිලා දෙන්නා ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරු නම්, නියෝජ්‍ය ඇමතිවරු නම් කොහොම ද මත්කුඩු මර්දනය කරන්නේ. ඊළඟට මතට තිත කියලා එකක් කිව්වා. මේ නිසා අප පළමුව රට ගැන හිතලා රටට ප්‍රමුඛත්වය දීලා කටයුතු කළ යුතුයි. වෙන විකල්පයක් මේ වෙලාවේ අපට නෑ. රාජපක්ෂ කරපු දේ නිසයි අපිට විකල්පයක් නැත්තේ. නැතිනම් අපි ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පොදුජන පෙරමුණෙන් ඉල්ලන්න බලාගෙන හිටියේ. නමුත් ඒක කෙහෙන්දෝ ආපු පෙරේතයෝ රැළක් ඩැහැ ගත්තා. ඩැහැගත්තට පස්සේ අපිට පෙරේතයො එක්ක ලගින්න බෑ." යනුවෙන් හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළා ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 August 2015 16:58