April 28, 2024

පොහොර කෑන් විසිකරන ගොවීන්ට දඬුවම් කල යුතු දේ ගොඩහේවා කියයි

December 25, 2021

කාබනික දියර පොහොර කෑන් විසිකරන ගොවියන්ට දඬුවම් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

මේ සියල්ල ගොවීන්ට ලබා දෙන්නේ නොමිලේ බවත් ඒවා විසි කිරීම ජාතික අපරාධයක් බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

ගොවීන් විසි කරන්නේ මේ රටේ මහජනතාවගේ මුදල් නැතහොත් ජාතික ධනය බවද කී ඔහු කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ සත්ව අපද්‍රව්‍ය වලින් බවත් ඒවා සාමාන්‍යයෙන් ගඳ බවත් සඳහන් කළා.

සුවඳ අවශ්‍ය නම් සුවඳ විලවුන් ලබාගත යුතු බවද කී ඔහු මෙම පොහොර විසි කරන ආකාරය මාධ්‍ය ඔස්සේ වාර්තා නොකරන ලෙසද ඉල්ලා සිටියා.

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ උත්සවයක් අමතමින්.

ඔහු එහි දී පළ කළේ මෙවැනි අදහසක්.

"මේ දියර පොහොර ගත්තු ගොවියෝ මේ දියර පොහොර ගඳයි කියලා ඒවා විසි කරනවා. දැන් මේකෙ කාරණා දෙකක් මම කියන්නට ඕනෙ. මේ දියර පොහොර කියන්නෙ මොකක් ද ? පොහොරක් හදන්නෙ සත්ව ද්‍රව්‍යවලින්. ඒක ගඳයි තමයි. නැතුව මේ සුවඳ විලවුන් ගල්වපු එකක් නෙවෙයිනෙ මෙතන තියෙන්නෙ. සුවඳ විලවුන් ඕනෙ නම් සුවඳ විලවුන් ගන්න. පොහොර ඉල්ලුවාම මේක ගඳයි කියන එක මහා වරදක් විදියට කියන්න එපා. ඒකෙ ගඳ නෙවෙයි ප්‍රශ්නේ, ඒක පොහොරක්. ඒක නිෂ්පාදනය කරන දේවල් නිසා ඒකෙ යම්කිසි ගඳක් තියෙනවා නම් ඒක මහා ප්‍රශ්නයක් විදියට දකින්න එපා. ඊළඟට මේ මාධ්‍යවලින් පෙන්නනවා මහා වීරකමක් වගේ මේවා ඇරගෙන ගිහිල්ලා විසි කරනවා. ඒක හොඳ දෙයක් ද ? මොනව ද මේ විසි කරන්නෙ ? කාගෙ සල්ලිද විසි කරන්නෙ ? මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි මේ විසි කරන්නෙ. මේ නොමිලේ දෙන්නෙ මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි නෙ ? එක කෑන් එකක්හරි කවුරුහරි විසි කරනවා නම් ඒක ජාතික අපරාධයක් නෙ. ඒක දඬුවම් කළයුතු වරදක් නෙ. ඉතිං ඇයි අපි ඒ දේවල්වලට අනුබල දෙන්නෙ ?"

Rate this item
(0 votes)
Last modified on Friday, 24 December 2021 21:50