May 11, 2024

අලුත් අවුරුද්දත් ඉවරයි - ජනතාවට වැලේ වැල් නැති වෙයි Featured

December 25, 2021

ලබන වසරේ මුල් කාර්තුව තුල යලිත් මේ රට තුල එළවළු හිගයක් ඇති වන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

මාධ්‍යයට ඊයේ (24) ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ පොහොර ගැටළුව සම්බන්ධයෙන් මාධ්‍යයෙන් විශාල කාර්ය භාරයක් ඉටු කල නිසා වගකිය යුතු නිලධාරින්ගේ අවධානය යොමු වී යලිත් මේ රටේ ගොවියාට අවශ්‍ය රසායනික පොහොර, කෘමි නාශක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනයට අවසර ලබා දෙන බවට රජය ප්‍රකාශ කල බවයි.

ලබන වසරේ මුල් මාසය තුල ගොවින්ට අවශ්‍ය රසායනික පොහොර ලබා දුන්නද අස්වැන්න ලබා ගැනීමට මැයි, ජුනි මාස දක්වා බලා සිටිමට සිදු වන බවත්, ගොවින්ට ලබාදෙන පොහොර වැඩි මිලට ලබාදුන්නහොත් යලිත් එළවළු මිල ඉහල යාමේ අවධානමක් පවතින බවද ඔහු පැවසුවා.

වෙනත් වසර වල නත්තල් කාලයේ නුවරඑලියෙන් එලවළු කිලෝ ලක්ෂ 2 ½ පමණ යවන බවත්, මෙවර නත්තලට එළවළු කිලෝ 80,000ක් පමණ දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන වෙත යැවු බවයි සභාපතිවරයා කියා සිටියේ.

වෙලදපොලේ ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් නොමැති වුවත්, එලවළු මිල අඩු විමට හේතුව වී ඇත්තේ පාරිභෝගිකයා එළවළු මිල දි නොගැනිම නිසා බවත්, පාරිභෝගිකයා අර්ථික වශයෙන් පිඩාවට පත් වි සිටින නිසා එළවළු මිල දි නොගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර රසායනික පොහොර නොමැතිව විශේෂයෙන්ම තේ ඇතුළු බෝග විශාල ප්‍රමාණයක පලදාව අඩු වී තිබෙනවා.

ඒ කෙසේවෙතත් මේ වන විටත් ඉදිරි මාස වලදී දැනට වගා බිම් වල පලදාව එළඹෙන උත්සව සමය වන විට ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වන බව ද පෙනී යනවා. 

රසායනික පොහොර තහනම සහ කාබනික පොහොර වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ ගොවීන්ට වගා කටයුතු සිදු කර ගැනීමට නොහැකි තත්වය උදා වී තිබෙනවා.

රට තුළ කිසිම ආකාරයක ආහාර හිගයක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා.

රට පුරා කෘෂිකර්ම නිලධාරීන්ගෙන් ලැබෙන තොරතුරු අනුව මහ කන්නයේ අස්වැන්න අඩු වන්නේ සියයට 25 කින් 30 කින් බැවින් ආහාර හිගයක් ඇතිවීමේ කිසිම හැකියාවක් නැතැයිද ඒ මහතා පැවසුවා.

එළවළු පලතුරු සඳහා අවශ්‍ය පොහොර ජනවාරි මාසයේ දී ලැබෙන නිසා ඒවායේ හිගයක් ඇති වීමටද ඉඩ නැතැයි ඔහු සඳහන් කරනවා.

ඒ නිසා ආහාර හිගයක් ඇති වෙතැයි ඇතැම් පිරිස් පළකරන අදහස් ප්‍රතික්ෂේප කරන බවද ඔහු කියා සිටියා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කරන්නේ ස්ථිර වශයෙන්ම ඉදිරියේදී ආහාර හිගයක් ඇති වන බවයි.

ඇතැම් විට ආහාර ලබා දීම සීමා කිරිමට වනු ඇතැයිද ඔහු කියා සිටියා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද රට තුළ ආහාර හිඟයක් ඇතිවිය හැකි බව ප්‍රකාශ කළා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 25 December 2021 12:09