April 28, 2024

"හරිම කණගාටුයි..ආණ්ඩුවේ අයම වියත්මගට බනිනවා" ආණ්ඩුවේ අර්බුදය කරළියට

ආණ්ඩුව තුළ පවතින අර්බුදය සහ ජනතාවට ආණ්ඩුව ගැන කළකිරීමෙන් පසුවන බවට පක්ෂ විපක්ෂ දේශපාලන වේදිකාවේ දිගින් දිගටම මතු කළ ප්‍රශ්නයකි. 

මේ පිළිබඳ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ද සිය අප්‍රසාදය කලකිරීම ඇතැම් අවස්ථාවන්හිදී ප්‍රසිද්ධ වේදිකාවේදී ප්‍රකාශ කළේය. 

ආණ්ඩුව තුළ විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව කටයුතු කරන පක්ෂද ආණ්ඩුව පිළිබඳ ඇතැම් විවේචන එල්ල කරමින් සිය කලකිරීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර ඊට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් සිය විරෝධය පළ කර තිබිණි.

මේ අතර ආණ්ඩුව නිර්මාණය කිරීමට දායකත්වය දුන් වියත්මග සංවිධානයටද ආණ්ඩුව තුළින් විවිධ විරෝධතා එල්ල වූ අතර ඔවුන්ද ඇතැම් විට කළකිරීමෙන් කටයුතු කරන අයුරු දක්නට ලැබිණි.

වියත්මග සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු වන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාද ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර අර්බුදය ගැන අදහස් පළ කර තිබුණේ ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමිනි.

ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර අර්බුදවලට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවත් ඇතැම් පුද්ගලයින් විසින් ආණ්ඩුව තුළ අර්බුද ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

රජය පිහිටුවා අවුරුද්දකුත් මාස කිහිපයක් ගොස් ඇති බවත් ආණ්ඩුව මේ වනවිට සිටින තත්ත්වය ගැන යථාර්තය පිළිගත යුතු බවත් දැන් මහා විශාල ජන ප්‍රසාදයක ඉන්නවා ද කියා ප්‍රශ්නය ඇසිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි ආණ්ඩුවක් සිටිය යුතු ජන ප්‍රසාදයේ ද අද ඉන්නේ යන්න ප්‍රශ්නයක් බවත් පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා "අපි අතර සමගිය තිබුණේ නැත්නම් ඊළඟ මැතිවරණය ලේසි වෙන්නේ නෑ. දැන් අපි බුද්ධියෙන් විමසලා විසඳුම් සෙවිය යුතුයි" යනුවෙන්ද ප්‍රකාශ කළේය.

Rate this item
(1 Vote)