May 12, 2024

ශ්‍රිලනිපය දෙකඩ වෙයි? - මහින්ද පිලේ මන්ත්‍රීවරු 26ක් ස්වාධීන වෙන ලකුණු

එජාපය සමඟ එක් වී දකුණු පළාත් සභාව තුල හවුල් ආණ්ඩුවක් පිහිටවුවහොත් දකුණු පළාත් සභාවේ මහින්ද පිලේ මන්ත්‍රිවරු 26 දෙනෙකු ස්වාධින කණ්ඩායමක් ලෙස  පළාත් සභාව තුල කටයුතු කිරිමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊයේ (04) රාත්‍රියේ  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න මහතාගේ නිවසේ දී  මෙම මන්ත්‍රී කණ්ඩායම රැස් වී ඇති අතර ඒ සඳහා දකුණු පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍යය වීරසුමන වීරසිංහ මහතා ඇතුළු මන්ත්‍රිවරු 24 දෙනෙකු සහභාගි වී තිබේ.

එහිදී එක් කණ්ඩායමක් ලෙස සාමුහිකව කටයුතු කිරිමට මෙම මන්ත්‍රී කණ්ඩායම එකඟතාවයකට පැමිණ ඇත.

මේ වනවිට දකුණු පළාත් සභාවේ මහින්ද පිලේ මන්ත්‍රීවරු ඇමතිධුර 02ක් හා සභාපති, උප සභාපති ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභානායක ධුරයන් උසුලයි.

අදාළ පිරිස සඳහන් කරන්නේ මෙම එක තනතුරක් හෝ වෙනස් කිරිමට කටයුතු කළහොත් තම පිරිස ස්වාධින කණ්ඩායමක් ලෙස පළාත් සභාව තුල කටයුතු කරන බවයි.

එමෙන්ම එම තනතුරු ඉවත්කොට මහින්ද පිලේ වෙනත් මන්ත්‍රිවරුන්ට ඒවා  ලබා දිමට කටයුතු කළහොත් ඒ කිසිදු තනතුරක් භාර නොගැනිමට මෙම මන්ත්‍රි කණ්ඩායම සාමුහික තින්දුවක් ගෙන ඇත.

පළාත් සභාවේ ඇමති ධුර වෙනස් වුවහොත් එසේ පත්වන නව ඇමතිවරුන්ට මාස හය හතකට වඩා එම ඇමති තනතුරු දැරීමට නොහැකිවනු ඇති බව ද මහින්ද පිලේ මන්ත්‍රිවරුන්ගේ අදහස වී තිබේ.

අමාත්‍යංශයක වැය ශිර්ෂයක් පරාජය වුවහොත් එම අමාත්‍යංශය කරගෙන යාමට අදාළ ඇමතිවරයාට නොහැකිවනු ඇති බවත්  එවැනි තත්ත්වයක් බස්නාහිර පළාත් සභාව තුල ද  සිදුවු අතර නිශාන්ත ශ්‍රි වර්ණසිංහ ඇමතිවරයාගේ අමාත්‍යංශයේ වැය ශිර්ෂය පරාජය විම නිසා ඔහුට පළාත් සභා ඇමතිකම අත් හැරිමට සිදුවිය.

තනතුරු වරප්‍රසාද හා වරදාන පිළිබද ප්‍රශ්නයක් නොවන බවත්  මෙය ප්‍රතිපත්තිමය  ගැටළුවක් බවත්  මන්ත්‍රි කණ්ඩායම අතර සාකච්ඡා වී ඇත.

එජාප විරෝධි ප්‍රතිපත්තියක  සිටින  මෙම මන්ත්‍රි කණ්ඩායම එජාපය සමග ඩීල් දමා පළාත් සභාවේ සංයුතිය වෙනස් කිරිමට කටයුතු කළහොත් ඒ අවස්ථාවේදි තමන්ගේ බලය පෙන්විමට මෙම මන්ත්‍රි කණ්ඩායම තීරණය කොට ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

ගාල්ල - ලලිත් චාමින්ද

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 May 2016 23:55