May 11, 2024

මැයි දිනයට සැවොම සූදානම්

මෙවර ලෝක කම්කරු දින සැමරුම වෙනුවෙන් ලංකාවේ දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති රැසක් මැයි රැලි හා පෙළපාලි සංවිධානය කර තිබේ.

මේ වනවිටත් හෙට දින වැඩසටහන් වලට ඔවුන් සූදානම් වන බවත් කොළඹ මෙන්ම පිට පළාත් වල ද මැයි රැලි රැසක් සංවිධානය කර ඇති බවත් මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින සැමරුම සඳහා තෝරාගෙන තිබෙන්නේ ගාල්ල සමනල ක්‍රිඩාංගනයයි. මේ වන විට ගාල්ල සන්ධානයේ මැයි දින සැමරුම වෙනුවෙන් ඔවුන් ද සූදානම් වන අයුරු අද පෙරවරුවේ සිට දකින්නට ලැබී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානවත්වයෙන් මැයි රැලිය පැවැත්වෙන අතර, එම මැයි දින පෙළපාලිය ගාල්ල දෙසට අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්නයේ සිට ගාල්ල මහමෝදර රෝහල අසලින් ආරම්භ වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින රැලිය පවත්වන්නේ බොරැල්ල කැම්බල් පිටියේදී ය. එහිද මේ වන විට හෙට රැලිය සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානවත්වයෙන් පැවැත්වෙන මැයි රැලියේ මැයි පෙළපාලිය මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රිඩාංගනයෙන් ආරම්භ වීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානවත්වයෙන් මැයි රැලියක් කිරුළපන ලලිත් ඇතුලත් මුදලි ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය නාරහෙන්පිට ශාලිකා ක්‍රිඩාංගයෙන් ආරම්භ වීමට නියමිතව තිබුණත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් ශාලිකා ක්‍රිඩාංගනයට ඇතුලු වීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබීම හේතුවෙන්  ඔවුන් මැයි පෙළපාලිය ශාලිකා ක්‍රීඩාංගනය ඉදිරිපිටින් ආරම්භ කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින සැමරුම මෙවර ද පැවැත්වෙන්නේ හැව්ලොක් ටවුන්හි බී.ආර් සී ක්‍රීඩාංගනයේදී ය.

දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රිඩාංගයෙන් ආරම්භ වන මැයි පෙළපාලියට සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සියලූම නායකයින් සහභාගී වීමට නියමිතයි.

මේ අතර සෙසු පක්ෂ හා සංවිධාන කොළඹ හා පිට පළාත් වල හෙට මැයි දින සැමරුම් රැලි හා පෙළපාලි සංවිධාන කර ඇති බව ද ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශකරයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 April 2016 20:42