May 05, 2024

ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණය ගැන හරීන් හෙළි කරයි

November 17, 2015

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් ඇති බව තමාට හැඟෙන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. 

BBC සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා පැවසුවේ ආණ්ඩුවේ ඇතැම් බලවේග ක්‍රියා කරන ආකාරය දෙස බලනකල තමන්ට එලෙස හැඟෙන බවයි.

"මේ රටේ වෙන ඔක්කොම තමන්ගේ පැත්තට ගන්නත්, වෙන නරක එක්සත් ජාතික පක්ෂයට බැර කරන කණ්ඩායමක් ඉන්නවා. හොඳ දේශපාලන මනසකින් බලන කෙනෙක්ට පේනවා යටින් වෙනයම් වූ කොටසක් ක්‍රියාත්මක වීමේ තත්වයක්" යයි ඇමතිවරයා පැවසීය.

ඇවන්ගාඩ් සමාගම නිවැරදිය යන ස්ථාවරයේ තමන් කිසි දිනක නොසිටි බව ප්‍රකාශ කළ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා තමන් එයට මැදිහත් වූයේ එම සිදුවීම යොදා ගෙන එක්සත් ජාතික පක්ෂයට පහර ගැසීමේ උත්සහයක් දුටු නිසා බවයි අමාත්‍යවරයා පැවසුවේ.

"මම පැහැදිලිව කිව්වේ අවන්ගාඩ් සමාගමට මේ කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ අපේ ආණ්ඩුව නෙවෙයි, නමුත් මම කිව්වේ පසුගිය ආණ්ඩුව කාලයේ ගහපු ගිවිසුම් එක්ක එතුමන්ලාට තාම තියෙනවා නීතිමය ආරක්ෂාවක්, රජයේ රක්නා ලංකා සමාගමට තමයි අවි සම්බන්ධයෙන් වගකීම තිබ්බේ, මේ නැතිවීම ගැන කතා කලේ අවි සම්බන්ධයෙන්. ඉතින් මම පැහැදිලි කලේ විජේදාස රාජපක්ෂ සහ තිලක් මාරපන මතු කළ නීති තර්කය හරියි කියලා, මම කිසිවිටක කිව්වේ නැහැ ඇවන්ගාඩ් සමාගම හරියි කියලා"

අවන්ගාඩ් සමාගමේ මුදල් ලබාගෙන ඇති බවට එල්ල වන චෝදනා ගැන විමසීමේ දී හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ තමන් ඇවන්ගාඩ් සමාගම සමග දුරකතනයෙන් හෝ කිසිදු සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් අමාත්‍යධුරයෙන් ඉවත් වීමට තමන් සුදානම් බවයි.

"ඩිජිටල් ඇමතිවරයා හැටියට කියන්නේ මේක තාක්ෂණ යුගයක්, ඡායරුපයක් හරි, එහෙම නැත්නම් මගේ දුරකථන ලිස්ට් එක අරන් හරි මම ඔවුන් හා සම්බන්ධයක් පැවැත්වූ බවට චෝදනා කලොත් මම ඉල්ලා අස්වීමට සුදානම්" ඇමතිවරයා ප්‍රකාශ කරයි.

අවන්ගාඩ් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් තීරණයට එකග වීම කැබිනට් මණ්ඩලයේ වගකීම බව ප්‍රකාශ කල අමාත්‍යවරයා, නමුත් එතැනින් එහාට ගොස් විවිධ පුද්ගලයන්ට චෝදනා කිරීම නුසුදුසු බව ද ප්‍රකාශ කළේය.

"ජනාධිපතිට හා අගමැතිට වඩා වෙන අයට බලයක් නැහැ, එහෙම කාට හරි බලයක් තියෙනවා නම් ඒක හීනෙන් වෙන්න ඇති, එයාට අගමැති හීනයක් ඇති"

මෙලෙස චෝදනා කරන්නේ රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නට දැයි විමසු විට අමාත්‍යවරයා පැවසුවේ "තොප්පිය හරි නම් ඕන කෙනෙක් දාගන්න" යනුවෙනි.

නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයාත් "යහපාලනයේ කැලිත් නැහැ" යනුවෙන් ආණ්ඩුව විවේචනය කිරීම ද බරපතළ ප්‍රශ්නයක් බව ප්‍රකාශ කල හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ සියල්ල අතර සම්බන්ධයක් ඇති බවයි ප්‍රකාශ කලේ.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් තිබේ ද යන්න විමසු විට අමාත්‍යවරයා පැවසුවේ තමන්ට එවන් දෙයක් දැනෙන නිසා බවයි.

"මට එහෙම හැඟීමක් තියෙනවා, මට ඒක දැන් වැඩිපුරම තේරුම් ගිහිල්ල තියෙනවා, ඒත් තාම ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් තියෙනවා" ඇමතිවරයා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 November 2015 12:47