May 18, 2024

'පාද යාත්‍රාව හොරුන් රැකගැනීමට කරන උත්සාහයක්'

ඒකාබද්ධ විපක්ෂ විසින් සංවිධානය කර ඇති 'පාද යාත්‍රා' විරෝධතා පාගමන හොරුන් රැක ගැනීම සඳහා ජනතා සහය ලබාගැනීමේ උත්සාහයක් බවට ඩිජිටල් සහ විදුලි සංදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) දින මහනුවර නගරයෙන් ආරම්භ වීමට නියමිත පාගමන පිළිබඳව එජාපයේ මතය පැහැදිලි කිරීම පිණිස එම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

එහිදී අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා, "බෙල්ලට තොණ්ඩුව වැටෙන්න යන කොට, බෙල්ලට තොණ්ඩුව වැටීම වැළකීම සඳහා ජනතාව එකතු කර ගෙන පාරට බැහැලා අනේ අපිව හිරේ දාන්න එපා කියන වැඩේ කරන්නයි ඔය හදන්නේ," යි පැවසීය.

සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුවකට එරෙහිව මෙවැනි විරෝධතා දියත් කරන්නේ ආණ්ඩුවකට වැඩකරගෙන යාමට වසර කිහිපයක් ලබාදීමෙන් අනතුරුව බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, නව ව්‍යවස්ථාව හරහා රට බෙදන බවටත්, බුදු දහමට රාජ්‍ය ආගම ලෙස තිබෙන ස්ථානය නැති කිරීමට උත්සාහ කරන බවටත් ඒකාබද්ධ විපක්ෂය අසත්‍ය ප්‍රචාර ගෙන යන බව ද කියා සිටියේය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 27 July 2016 18:05