May 13, 2024

පළාත් පාලන ඡන්දෙට එජාපය පෙරමුණකින් එයි? - අනෙක්‌ පක්‍ෂ සමඟ සාකච්ඡාවට තීරණයක්

September 22, 2015

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂය තම හිතවත් දේශපාලන පක්‍ෂ සමඟ එක්‌ව එක්‌සත් ජාතික පෙරමුණ යටතේ තරග කිරීම සඳහා එම පක්‍ෂ නායකයන් සමඟ වැඩිදුරටත් සාකච්ඡා කර එකඟතාවකට එළැඹීමට පක්‍ෂ නායක, මහලේකම්, සභාපති ඇතුළු කණ්‌ඩායමකට පැවරීමට කෘත්‍යාධිකාරි මණ්‌ඩලය අවසරය ලබාදී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී ඊයේ (21) පස්වරුවේදී පැවැති කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී මෙම තීරණයට එළැඹ තිබේ.

පළාත් පාලන ඡන්දයේදී කාන්තා නියෝජනය සියයට 25 දක්‌වා ගෙන ඒම එජාපය විසින් අනිවාර්යයෙන් සිදු කළ යුතු බවටද යෝජනාවක්‌ සම්මත වී ඇති අතර එම මැතිවරණය පවතින මනාප ක්‍රමයට ද එසේත් නැත්නම් නව ක්‍රමයකට පවත්වන්නේ ද යන්න ගැන වැඩිදුරටත් සාකච්ඡා කළ යුතු යැයි කෘත්‍යාධිකාරි මණ්‌ඩලය තීරණය කර ඇත.

පළාත් පාලන මැතිවරණය කේවල ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් පැවැති රජය විසින් සිදුකර ඇති සීමා නිර්ණය හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට වාසි වන අයුරිනුත් එජාපයට අවාසි වන අයුරිනුත් සිදුකර ඇතැයි මෙහිදී මත පළවී තිබේ.

මේ අතර ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකා රජය මේ වනවිටත් අත්කරගෙන ඇති වාසිදායක තත්ත්වය ගැන රටේ ජනතාව දැනුවත් කළ යුතු බවත් තීරණය කර ඇති එක්‌සත් ජාතික පක්‍ෂය විපක්‍ෂ මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ජිනීවා සිද්ධිය ගැන මාධ්‍යයට සිදුකරන අසත්‍ය කරුණු දැක්‌වීම්වලට සත්‍ය පිළිතුරු ලබාදිය යුතු බවට ද මෙහිදී තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිසි පරිදි දැනුවත් කිරීමට ද ඊයේ (21) රැස්‌වූ එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීම ඒකමතිකව තීරණය කර ඇත. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 September 2015 13:39