April 24, 2024

කැබිනට් රැස්වීම පැය දෙකකට අධික කාලයක් දිග්ගැස්සෙයි! ජනපති දැඩි තීන්දුවකට සූදානම් Featured

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (25) පැවැති කැබිනට් රැස්වීම පැය දෙකකට අධික කාලයක් පැවැති බව වාර්තා වේ.

එම කාලය තුළ සාකච්ඡාවට ලක්වූයේ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය ගැන පමණක් බව රජයේ ආරංචි මාර්ග පවසයි.
 
වෙනදා කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකා 50ක් 60ක් පමණ ඉදිරිපත් වන නමුත් ඊයේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් වූයේ පත්‍රිකා තුනක් පමණක් බවද ඒවාද කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට අදාළ පත්‍රිකා බවද වාර්තා වේ.
 
කැබිනට් රැස්වීමේදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා කොරෝනා වයිරසයෙන් රට මුදා ගැනීම සදහා තමාට දැඩි තීන්දු ගැනීමට සිදුව තිබෙන බව ප්‍රකාශ කර ඇත.

කොරෝනා වයිරසය හා සම්බන්ධ සෞඛ්‍ය, මහජන සුබසාධනය, ආර්ථිකය හා ජාතික ආරක්ෂාව පිළිබදව තීරණ සෘජුවම කැබිනට් මණ්ඩලයේ මෙහෙයවීම යටතේ ජාතික වැඩසටහනක් මගින් කළමණාකරණය කෙරෙන බැවින් අමාත්‍යාංශ මට්ටමින් තීරණ ගැනීමෙන් වළකින්නැයි ද ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මීට අදාළ දිස්ති‍්‍රක්ක මට්ටමේ තීරණ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය සහ නම් කරන ලද කැබිනට් ඇමැතිවරුන් හා ආණ්ඩුකාරවරුන් විසින් සම්බන්ධීකරණය කරනු ලබන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.

ප‍්‍රාදේශීය හා ග‍්‍රාමීය මට්ටමේ කටයුතු දිස්ති‍්‍රක් සම්බන්ධිකරණ අමැතිවරුන්ගේ හා ආණ්ඩුකාරයාගේ අධීක්ෂණය යටතේ ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් කි‍්‍රයාත්මක කරනු ලබන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම් ත්ත්වය හමුවේ පීඩනයට පත්ව සිටින ජනතාව සදහා සහන පැකේජයක් හදුන්වාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

ගොවීන්, කම්කරුවන්, ධීවරයන්, රජයේ සේවකයන්, පෞද්ගලික අංශය, බැංකු ආදි විවිධ ක්ෂේත‍්‍ර සදහා මෙම සහන පැකේජය හදුන්වා දෙනු ඇත. මෙම සහන පැකේජයෙන් කොටසක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත රජය විසින් මීට දින තුනට ඉහත දී ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ව්‍යාපාර අඩාල වු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු  තාක්ෂණ හා සැපයුම්  ක්ෂේත්‍ර වල නියුතුවුවන්ට 4% පොලී අනුපාතයක්  යටතේ කාරක ප්‍රාග්ධන ණය ලබාදිමට මුල්‍ය ආයතනවලට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. මෙම ණය මුදල් සඳහා මාස 6 ක පොලි සහන කාලයක් ද හිමි වේ.

Last modified on Thursday, 26 March 2020 15:14