April 24, 2024

ජනපතිට අගමැතිට සිතාසි

ලබන ජුලි මස 17වැනිදා ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(20) සිතාසි නිකුත් කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා එවකට විපක්ෂ නායක මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයාද වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජව යොදමින් තිස්ස අත්තනායක මහතා කූඨ ලේඛණ සැකසූ බවට ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම සඳහා මෙලෙස සිතාසි නිකුත් කොට තිබේ.

මෙම පැමිණිල්ලේ පළමු හා දෙවන සාක්ෂිකරුවන්වන ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් අද අධිකරණයේ පෙනීසිටින ලෙසට සිතාසි නිකුත් කොට තිබුනද රාජකාරි කටයුතු හේතුවෙන් පැමිණිය නොහැකි බව ඔවුන් අධිකරණයට දන්වා තිබිණි.

ඒ අනුව අදාළ නඩුව ජූලි මස 17 වන දින  විභාගයට ගැනීමට මහාධිකරණය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් මෙම නඩුවේ තවත් සාක්ෂිකරුවෙකු වන කබීර් හෂීම් අධිකරණයට පැමිණි බව වාර්තාවේ.