April 27, 2024

තක්සේරු නිලධාරීන් මැදමුලනට - විමර්ශන අවසන් අදියරේ

ඩී.ඒ .රාජපක්ෂ මහතා සහ එම මහත්මියගේ දේහයන් තැන්පත් කැර ඇති ස්ථානයේ ඉදිකරන ලද ස්මාර්කය වෙනුවෙන් වැය කරන ලද මුදල් පිළිබදව විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

ඒ අනුව මුදල් අමාත්‍යංශයට අයත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් නිලධාරීන් සහ හම්බන්තොට දිස්ත්‍රික් තක්සේරු නිලධාරීන් ඊයේ(19) පෙරවරුවේ මැදමුලන ඩී.ඒ .රාජපක්ෂ ස්මාර්කය වෙත ගොස් එහි විමර්ශන කටයුතු හා මිණුම් කටයුතු සිදු කළහ. 

එම මූල්‍ය වංචාවේ අවසන් පරීක්ෂණ සඳහා තක්සේරු වාර්තාව ලබා ගැනීම සිදුකරන බව එම නිලධාරීයෙකු පැවසී ය.

මෙම අවස්ථාව සදහා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ද පැමිණ සිටි බව වාර්තා වේ.

එවකට පැවති රජය පහත් බිම් ගොඩ කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ නව සියයක් යොදවා මෙම ඉදි කිරීම් කර ඇති බවට ලද තොරතුරු මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කෙළේය. 

මෙහි අවසන් වාර්තාව සකස් කිරීම සඳහා මෙදින විමර්ශන හා මිණුම් කටයුතු සිදු කළහ.

2014 නොවැම්බර් 06 වැනිදා එම ස්මාර්කයේ ඉදිකිරීම් කටයුතු වලදී රුපියල් කෝටි 9ක රජයේ මුදල් අවභාවිතා කළ ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

එම පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් ඊට අදාලව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්ද ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පැවසී ය.