March 29, 2024

යළි ජනපතිවීම ගැන මෛත්‍රී නිහඩයි: චන්ද්‍රිකා - එජාපය එක පිලකට

2020 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්‌ෂක ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තීරණයක්‌ ගෙන නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කරමින් බවද ඇය පෙන්වා දුන්නාය.

තමා පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරියක බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා 2020 ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්‌ෂකයා ලෙස ඉදිරිපත් වන බවට ඇතැමුන් ප්‍රකාශ කළත් තමා ජ්‍යෙෂ්ඨයකු ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් එවැනි තීරණයක්‌ ගෙන නොමැති බව දන්නා බවත් ඊයේ(10) ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.

ජනපති අපේක්ෂකයා මෛත්‍රී

මේ අතර සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ඊයේ(10) එම අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ ද පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි.

පක්ෂයේ කාන්තා හා තරුණ සමිති වල මෙන්ම පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිතිවල ප්‍ර‍බල ඉල්ලීම වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම බවත්, එහෙත් ජනාධිපතිවරයා මේ පිළිබඳව කිසිදු අදහසක් ප්‍ර‍කාශ කර නැති බවත් අමාත්‍යවරයා පැවසී ය.

2014 පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති වුවත්, මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ බහුතරයකගේ ඉල්ලීමෙන් පක්ෂයේ සභාපති ධූරය භාරගත් නිසා පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට පක්ෂය කරන ඉල්ලීම පිළිබඳව ඔහු අනුකූලතාවයක් දැක්විය යුතු බවද එස්.බී.දිසානායක ඇමැතිවරයා සඳහන් කළේය.

බහුතරය දිනාගන්න මෛත්‍රීට පුළුවන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකාවේ සුළු ජාතික ඡන්ද 27% ක් තිබෙන බවත් එම ඡන්දවලින් අති බහුතරය දිනාගැනීමේ හැකියාව තිබෙන එකම අපේක්ෂකයා වත්මන් ජනපතිවරයාය යන්න පක්ෂයේ මෙන්ම තමන්ගේද ස්ථාවරය බවත් ඔහු පෙන්වා දුන්නේය.

පක්ෂයේ එම තීන්දුව පිළිබඳව මධ්‍යම කාරක සභාවේ මුලසුන හෙබැවූ ජනාධිපතිවරයා කිසිදු අදහසක් පළ නොකළ බවත් අමාත්‍යවරයා පැවසී ය.

මෛත්‍රීට සදාචාරාත්මක අයිතියක් නෑ

එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් යහපාලන රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන එජාපයේ ඇමැතිවරයෙකු වන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අදහස් පළ කර තිබිණි.

ඔහු සඳහන් කළේ විධායක ජනාධිපති පදවිය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පදවිය තවදුරටත් පවත්වාගෙන යාමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

ස්වාධීන දේශපාලන පක්ෂයක් ලෙසින් තමන්ට අවශ්‍ය තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් තිබෙන නමුත්, එම පක්ෂයේ පවා විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමේ ප්‍රතිපත්තිය මත දේශපාලනයේ යෙදුනු කණ්ඩායම්වලටත් එවැනි ස්ථාවරයක් දැරීමේ සදාචාරාත්මක අයිතියක් නැති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් 2015 ජනවාරි 09 වැනි දා ජනපති ධූරයේ දිවුරුම් දුන් අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, යළිත් වරක් ජනපතිවරණයකට ඉදිරිපත් නොවන බවට ප්‍රතිඥාවක් දුන්නේ ය. 

 

Last modified on Wednesday, 11 January 2017 11:02