May 07, 2024

'බොදු බල සේනා කියන්නෙ මැරිච්ච සතෙක්' - මනෝ ගනේෂන්

September 08, 2015

ජාතිවාදය සහ අන්තවාදී සංවිධාන මතවාදීමය සහ දේශපාලනමය වශයෙන් පරාජය කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ජාතික සංවාද පිළිබඳ නව අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.

ඒ මහතා මේ අදහස් පල කලේ බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී ය.

මෙහි දී අදහස් දැක්වූ ගනේෂන් මහතා "සංහිඳියාව අවශ්‍ය නම් සිංහල අන්තවාදී වේවා, දෙමළ අන්තවාදී වේවා, මුස්ලිම් අන්තවාදී වේවා, ජාතිවාදී, අන්තවාදී කණ්ඩායම් ටික අපි අවසන් කරන්න ඕන" යනුවෙන් ද පැවසුවේ ය.

එමෙන්ම බොදු බල සේනා සංවිධානය සිංහල ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවත් බොදු ජන පෙරමුණ නමින් මහ මැතිවරණයට ඉදිරිපත් වූ බොදු බල සේනා සංවිධානයට මුළු රට පුරාම ලබාගත හැකි වූයේ ඡන්ද 20,377 ක් පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

"මේ සංවිධානය පසුගිය මැතිවරණයේ දී ඡන්දෙ ඉල්ලුවා. සුදුසු උත්තරය ඒ අය පෙනී සිටියාය කියන සිංහල බෞද්ධ සහෝදර ජනතාවම දීල තියෙනවා. ඒ නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ"

අන්තවාදයට වැට බැඳීම පිණිස බොදු බල සේනා වැනි සංවිධාන තහනම් කරන්නේ දැයි බීබීසීය විමසූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ය.

"ඒක මැරිච්ච සතෙක්. ඒ සතාට පණ දෙන්න අපි කැමති නැහැ. නමුත් සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා ජාතික ගමනට බාධා කරන කිසිම කිසිම දේකට මෛත්‍රී රනිල් ආණ්ඩුව ඉවසන්නේ නැහැ"

ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්, ආගම්, භාෂා අතර සංහිඳියාව ඇතිකිරීම තමන්ට පැවරුණු අමාත්‍යංශයේ වගකීම බවද ප්‍රථම වරට කැබිනට් මණ්ඩලයට පත්කෙරුණු මනෝ ගනේෂන් අමාත්‍යවරයා කියා සිටියේය.

"මට මේක අලුත් දෙයක් නෙවෙයි. මම හැමදාම කළේ මේක තමයි. උතුරටත්, දකුණටත්, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතරත් පාලමක් විදියට ක්‍රියා කළා."

දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂාවක් වුවත් බොහෝ පොලිස් ස්ථාන, රජයේ කාර්යාල ඇතුළු ආයතනවල තවමත් සිංහල භාෂාවෙන් පමණක් වැඩ කටයුතු සිදුවීම බරපතල ගැටලුවක් බවද අමාත්‍යවරයා පැවසුවේ ය.

"මේක සිද්ද වුනා නම් අපි අද මුහුණ දෙන ජාතික ප්‍රශ්නයෙන් සියයට පණහක් අවසන් කරන්න පුළුවන් කියල කවුරුත් දන්නවා. දන්න කරුණක්. නමුත් ඒකට දේශපාලන නායකත්වයක් තිබුනේ නෑ" යනුවෙන් ඒ මහතා අවසාන වශයෙන් කියා සිටියේ ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 September 2015 09:14