April 30, 2024

සන්ධානයේ පක්ෂ රැසක් නව දේශපාලන පෙරමුණකට?

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය විපක්ශයේ වගකීම ඉටු නොකරනවා නම් සන්ධානය තුළ සිටින බහුතර පක්‍ෂ රැසක එකතුවෙන් නව දේශපාලන පෙරමුණක්‌ ගොඩනැඟීමට පක්‍ෂ නායකයන් රැසක්‌ තීරණය කර ඇති බව ජාතික නිදහස් පෙරමු‍ණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ ය.

ඊයේ (14) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති පොදු විපක්‍ෂයේ විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එසේ ගොඩනගන නව පෙරමුණ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් වෙන්ව එම පෙරමුණ පාර්ලිමේන්තුව තුළ සිට විපක්‍ෂයේ කාර්යභාරය සිදු කිරීමට නියමිත බවත්, ඒ සඳහා මහජන එක්‌සත් පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළඋරුමය, ශ්‍රී ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක්‌ එකඟවී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේ ප්‍රකාශ කළේ ය.

"පසුගිය මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් කියා බොහෝ අය අර්ථකථනය කරනවා. නමුත් මෙය සාධාරණ මැතිවරණයක් වීමට නම් රටේ විධායක ජනාධිපතිවරයා එක් පාර්ශ්වයකට වාසි සැලසෙන ක්‍රියාමාර්ග නොගත යුතුව තිබුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා, රටේ විධායක ජනාධිපතිවරයා මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු බලවේගවල ඡන්දයෙන් දිනපු ජනාධිපතිවරයා, තමන් දිනවපු බලවේග දිනවීම සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් ගනු ලැබුවා. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැතිවරණයෙන් ජය නොලබන බවට මතයක් තහවුරු කිරීමට දරුණු ක්‍රිරියාමාර්ග ගණනාවක්ද ගනු ලැබුවා.

එවැනි තත්වයක් ඇතුළේ වුවත් මන්ත්‍රී ධුර 95ක් දිනාගන්න ලැබීම ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස තමයි අපි දකින්නේ. මෑත ඉතිහාසයේ බලවත්ම විපක්‍ෂය බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය පත් කරමින් තමයි මහ මැතිවරණය අවසන් වුණේ. මැතිවරණය අවසන් දින කිහිපයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගනු ලැබූවත් මහින්ද රාජපක්‍ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා නොදෙන බවට ලිපියක් එව්වා, එජනිස මහ ලේකම්වරයා එම ධුරයෙහි කටයුතු කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ගත්තා, මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්ව තිබූ දින 02 තුළ සති අන්ත පුවත්පත්වල මුල්පිටුවල ‘සන්ධානය ජය නොගන්නා බවට වූ පරණ පත්තර පිටු’ දැන්වීම් ලෙස පළ කරනු ලැබුවා.

මේ සියලූ පියවරයන්හි ප්‍රතිඵලයක් ලෙස නාගරික ජනකොටස් තුළ යම් ව්‍යාකූල තත්වයක් නිර්මාණය කරන්න ඔවුන්ට හැකිවුණා. මැතිවරණ ප්‍රතිඵලය දෙස බැලීමේදී වුවත් යම් දිස්ත්‍රික්කවල ප්‍රතිඵලවල අසාමාන්‍ය තත්වයක් දැකගත හැකියි. ඒවා පිළිබඳව අපි දැනටමත් අධ්‍යයනය කරමින් සිටිනවා. කෙසේ වෙතත් මහජනතාව මේ පිළිබඳව බරපතළ සැක සංකා පළකර තිබෙනවා. දැනට ඒ පිළිබඳව අදහස් දැක්වීමට අප ඉක්මන් වන්නේ නැහැ. අපේ අධ්‍යයනයෙන් අනතුරුව ජනතාවට ඒ පිළිබඳව නුදුරේදීම පවසනවා.

ජනතාව බුලත් කොළයට ඡන්දය දුන්නේ එක්සත් ජාතික පක්‍ෂය සමඟ හවුලක් හදන්න නොවෙයි. ඒ වගේම එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය දුන් ජනතාවත් කියන්නේ තමන් ඡන්දය දුන්නේ ශ්‍රී ලනිපය සමඟ හවුලේ ආණ්ඩුවක් හදන්න නොවෙයි කියලයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජාතික ආණ්ඩුවක් හදනවා කීවත් එජාපයට ඡන්දය දුන් බහුතර ජනතාවගේ මතය වූයේ ‘හැදිය යුත්තේ යූ.එන්.පී ආණ්ඩුවක්’ යන්නයි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදන්න බැරිවුණා නම් අපි විපක්‍ෂය විදිහට ඊට ඡන්දය දුන් ජනතාවගේ අයිතිය සහ ගෞරවය ආරක්‍ෂා කළ යුතුව තිබෙනවා. ඡන්දයකදී දේශපාලන පක්‍ෂ සහ ඊට ඡන්දය දෙන ජනතාව අතර ඇති වන බැඳීම කෙබඳුද? ඡන්දය දෙන ජනතාව එම පක්‍ෂයෙන් බලාපොරොත්තු වන භූමිකාව ඉටු කිරීමයි. ඒ නිසා ඡන්දය දුන් ජනතාව එම පක්‍ෂයෙන් බලාපොරොත්තු වන භූමිකාව අත්හැර වෙනත් භූමිකාවකට පණ පෙවීමට එම පක්‍ෂයට හැකියාවක් නැහැ. 106ක පමණ ආසන සංඛ්‍යාවක සිටි එජාපය ශක්තිමත් කරන්න අපි කවරකු හෝ කටයුතු කරනවානම් ඒක සන්ධානයට ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂයන්ට පිටු පෑමක්. නීතිමය අයිතීන් ගැන පමණක් හිතන අයට ඒ ගැන පමණක් සිතා ජනතාව සමඟ වන සදාචාරාත්මක බැඳීමට පයින් ගැසිය හැකියි. නමුත් ජනතාව සමඟ වන සදාචාරාත්මක බැඳීමට ගරු කරන අපි වගේ දේශපාලන පක්‍ෂවලට එසේ කටයුතු කිරීමට බැහැ. ඒ නිසා අපි වෙන වෙනමත්, ඒකාබද්ධවත් අපට ඡන්දය ලබාදුන් ජනතාවගේ අභිලාෂයන් සුරැකීමට පෙනී සිටිනවා.

ඉදිරියේදී අපට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වෙනවා. ඒවාට මුහුණ දීමට අපි සූදානම්. මේ රටේ ප්‍රගතිශීලී, වාමාංශික බලවේග බෙලහීන කරලා තමන් අපේක්‍ෂා කරන, තමන් බාරගත්තු කොන්ත්‍රාත්තුව ඉතාම වේගයෙන් ක්‍රියාත්මක කරන්නයි මේ ආණ්ඩුව සැරසෙන්නේ. ඒකට පූර්ව කොන්දේසිය තමයි විරුද්ධ පක්‍ෂය යටත්කර ගැනීම. ඒ න්‍යාය පත්‍රයයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ජනාධිපතිවරයා හරහා ජාතික ආණ්ඩුවක කොටස්කාරයෝ කරන්න යන්නේ ඒකට. ඇත්ත වශයෙන්ම මෙතැන තියෙන්නේ ජාතික ආණ්ඩුවක් නොවෙයි, හවුල් ආණ්ඩුවක්. මේ හවුල හැදෙන්නෙත් එජාපය සහ ශ්‍රීලනිප කොටසක් අතරයි. අද එකසිය ගණනක ඇමති මණ්ඩලයක් හැදෙන ලකුණු පෙන්වලා තියෙනවා. මම දන්නේ නැහැ උදේ හවා යහපාලනය ගැන දෙසා වදාරන ස්වාමීන්වහන්සේලා මේ ගැන කුමක් කියයිද කියලා.

මේ රටේ ජාතික ආරක්‍ෂාව දුර්වල කරන්න, බටහිර අධිරාජ්‍යවාදීන් ලබා දීපු කොන්ත්‍රාත්තු ටික ඉටු කරන්න, තමන්ට උදව් කරපු කල්ලිවලට කප්පම් දෙන්න නම් විපක්‍ෂයක් නැති වෙන්න ඕනේ. ඒ න්‍යායයි මේ ක්‍රියාත්මක වෙන්නේ, ‘තමන් පත් කළ නියෝජිතයන්ට ඒ උගුලට හසු වෙන්න ඉඩ දෙන්න එපා’ කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 August 2015 10:41