May 07, 2024

එජාප ජාතික ලැයිස්තුවේත් පරාජිත අපේක්ෂකයෙක්!

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හිමි වන්නේ කාටදැයි ඊයේ දින ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අතර පසුගිය මහ මැතිවරණය සඳහා  පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරඟ කර පරාජයට පත්වූ අපේක්ෂකයෙකු වන M.H.M නවාවී මහතා ද සිටිනවා. ඔහු රිෂාඩ් බදියුදීන් මහතාගේ සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සාමාජිකයෙක්. 

නමුත් මීට පෙර එක්සත් ජාතික පක්ෂය පවසා සිටියේ මැතිවරණයට තරඟ කර ජයගැනීමට නොහැකි වූ අපේක්ෂකයන් කිසිවෙකුට තම ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ඉඩ නොදෙන බවයි. 

එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා ද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ පරාජිත අපේක්ෂකයන් නම් නොකිරීම මගින් පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තු පත්කිරීම්වලදී එක්සත් ජාතික පක්ෂය විසින් උතුම් වූ ආදර්ශයක් රටටම ලබාදීමට සමත්ව ඇති බව පැහැදිලි වන බවයි.

එජාප ජාතික ලැයිස්තුව හරහා අපේක්ෂකයන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් අපේක්ෂකයන් කිහිප දෙනෙකුද ඒ අතර සිටිනවා. 

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ මැතිවරණ වලින් පරාජයට පත්වන සිය අපේක්ෂකයන් ජාතික ලැයිස්තු හරහා නැවත පාර්ලිමේන්තුවට එවීම පිලිබඳ පසුගිය දිනවල මහජනතාවගේ දැඩි විරෝධයක් මතු වුනා.

ඒ කෙසේ වෙතත් එස්.බී දිසානායක, විජිත් විජයමුණි සොයිසා යන මහත්වරුන් ඇතුළුව පරාජයට පත්වූ අපේක්ෂයක් හය දෙනෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ද, මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් තරඟ කර පරාජයට පත්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ද තීරණය කර තිබෙනවා.

 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 22 August 2015 13:57