May 01, 2024

පළමු ආසාදිතයා තවම හඳුනාගෙන නෑ - මිනුවන්ගොඩ කොරෝනා පොකුර විහිදී ගිය ප්‍රදේශ මෙන්න Featured

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පළමු සහ දෙවෙනි ආශ්‍රිතයන් දක්වා විහිදී ගිය අවස්ථා නිරීක්ෂණය වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ (10) දින වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් අතර මිනුවන්ගොඩින් 26 දෙනෙක්, ගම්පහ ප්‍රදේශයෙන් 23 දෙනෙක්, දිවුලපිටියෙන් 22ක් වශයෙන් එකී ප්‍රදේශවලින් බහුතරයක් හමුවන බව යුද හමුදාපතිවරයා පැවසීය.

ඊට අමතරව පානදුරින් එක් ආසාදිතයෙක්, කොළඹින් දෙදෙනෙක්, පොළොන්නරුවෙන් දෙදෙනෙක්, මාතලෙන් එක් අයෙක් වශයෙන් රටේ විවිධ ප්‍රදේශවලින් එක් අයෙක් හෝ අඩුම වශයෙන් හමු වී ඇති බවද සඳහන් කළේය.

එක් කොවිඩ් ආසාදිතයෙකු හරහා 522ක් වැනි පිරිසකට වෛරසය පැතිරිය හැකි බවත් වෛරසය සමාජ ගත වී ඇති බවට තවම නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කළ නොහැකි බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පැවසීය. 

වෛරසය සමාජගතවීම රැඳී පවතින්නේ ජනතාවගේ හැසිරීම අනුව බවත් පෙන්වා දුනි.

මෙම අවස්ථාවේදී කොවිඩ් -19 වෛරසයේ පළමු ආසාදිතයා කවුරුන්ද යන්න තවමත් හඳුනා ගැනීමට හැකියාවක් නැති වුවද වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඊළඟට මෙම වෛරසයට ගොදුරු විය හැක්කේ කවුරුන්ද යන්න කෙරෙහි බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි. 

දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව පසුගිය මස 21වන දා සිටම අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ වෛද්‍ය අංශයට අසනීප තත්ත්වයන් වාර්තා කළ සේවකයන් සිට ඇති බවද අනාවරණය වී තිබේ.

Last modified on Sunday, 11 October 2020 11:03