April 26, 2024

පියෙකු විසින් සිය දරුවන්ට සිදුකළ අමානුෂික පහරදීම (VIDEO)

නිදියහනේ සිටි තම දරුවන් තිදෙනාට මුගුරකින් පහරදී ගෙළ වැළලාගෙන මියගිය පියෙකු පිළිබඳ පුවතක් ගලේවෙල - මකුළුගස්වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ පහර කෑමට ලක්වූ දරු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත්තේ අද (12) අලුයම 1.00ට පමණ.

ගෙළ වැළලා ගැනීමෙන් ජීවිතක්ෂයට පත් රුවන් චාමිකර 36 හැවිරිදි තිදරු පියෙක් වන අතර, ඔහු යුද හමුදාවෙන් ඉවත් වී කුලී රැකියාවල නිරතව සිටි අයෙක්.

බිරිඳ සමග පැවති ආරවුලක් හේතුවෙන් සිත්තැවුලෙන් දිවි ගෙවූ ඔහු සිය ෆේස්බුක් ගිණුමට සුදු කොඩියක් එක්කර “සියල්ල අහිමිව ගිය කළ ඉතිරිව ඇත්තේ මෙපණයි“ යනුවෙන් සටහන් කර තිබුණා.

සිත්තැවුලෙන් කල් ගෙවූ රුවන් ඊයේ රාත්‍රියේ වයස අවුරුදු 5, 8 වයස්වල පසුවන සිය පිරිමි දරුවන් දෙදෙනාට සහ 13 වැනි වියේ පසු වූ දියණියට නිදි යහනේදීම මුගුරකින් පහර දී සියදිවි හානිකර ගැනීමටයි කටයුතු කර තිබුණේ.

පසුව ප්‍රදේශවාසීන් එක්ව දරුවන් තිදෙනා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබුණා.

ඉන් දරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් දෙදෙනා මහනුවර ජාතික රෝහලට මාරුකර යැවුණා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 March 2022 20:04