April 26, 2024

“විද්‍යුත් සංචරණ අනුමැතිය” ලබා ගැනීමේ පද්ධතිය යාවත්කාලීන කර නෑ - කෝපා කමිටුවේදී හෙළිවෙයි

November 20, 2021

2021 ඔක්තෝබර් වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272 ක් ඇතිවී තිබෙන බව කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ජ්‍යේෂ්ඨ මට්ටමේ තනතුරු 18 ක්, තෘතියික මට්ටමේ තනතුරු 113 ක්, ද්විතීයික, මට්ටමේ තනතුරු 121 ක්, ප්‍රාථමික මට්ටමේ තනතුරු 19 ක් සහ වෙනත් එක්ත නතුරක පුරප්පාඩු පවතින බව එහිදී අනාවරණ වී තිබෙනවා.

මේ හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කාර්යසාධනයට යම් යම් බාධා ඇතිවන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එහිදී පෙන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් මෙම පුරප්පාඩු පිරවීමට ඉල්ලීම් කොට ඇති බව එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළා.

2012 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරන “විද්‍යුත් සංචරණ අනුමැතිය” ලබා ගැනීමේ පද්ධතිය සංචාරකයින්ට වඩාත් මිත්‍රශීලී හා ආකර්ෂණීය පුළුල් සේවාවක් ලබාදීමේ අරමුණෙන් යාවත්කාලීන කොට නොමැතිවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

මෙම පද්ධතිය නවීකරණය කිරීම පිළිබඳව සහ නූතන ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම පිළිබඳ ‌මෙහිදී කමිටුව විසින් ප්‍රශ්න කර තිබෙනවා.

මේ අනුව දැනටමත් මෙම පද්ධතිය යාවත්කාලීන කිරීම පිළිබඳ අවධානය යොමු වී ඇති බවත් ඉදිරියේ දී එය සිදු කරන බවත් නිලධාරීන් සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දීමට කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා නිර්දේශ කර තිබෙනවා.

එසේම දෙපාර්තමේන්තුව සතු 2012 වර්ෂයේ දී සහ 2015 වර්ෂයේ දී මිලදී ගත් වාහන දෙකක් වසර කිහිපයකට පෙර අනතුරට ලක් වී ඇති බවත් එම වාහන තවමත් අලුත්වැඩියා කොට භාවිතයට නොගන්නා බවත් මෙහිදී අනාවරණය විය. 

පුද්ගලයින්ගේ ද්විත්ව පුරවැසිභාවය ලියාපදිංචි කිරීම පිළිබඳව, නීත්‍යානුකූල නොවන ලෙස ලංකාවේ රැඳී සිටින විදේශිකයින් පිළිබඳව ඇතුලු තවත් කරුණු කිහිපයක් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 19 November 2021 21:32