May 02, 2024

අභ්‍යාසලාභී උපාධිධාරීන්ට අනතුරු ඇඟවීමක්

අධ්‍යාපන අමාත්‍යංශයට අනියුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් හට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා අනතුරු ඇඟවීමක් සිදු කොට තිබෙනවා.

ඔහු පවසන්නේ එම අමාත්‍යංශයට අනියුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් සියළු දෙනාම 21 වැනි දා පාසල්වලට වාර්තා කළ යුතු බව යි.

එම අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම හෝ නොකිරීම පිළිබඳ තීරණය කරන්නේ ඔවුන් 21 වැනි දාට පාසල් වෙත පැමිණෙන්නේද නොපැමිණෙන්නේද යන්න මත බව ද රත්නසිරි මහතා අවධාරණය කරනවා.

එදිනට පාසල් වෙත වාර්තා නොකරන පිරිස් පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසට තමන් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දුන් බව යි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

උපාධිධාරි අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ දී 58,000ක් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කළ අතර, ඒ අතරින් 18,000ක් අධ්‍යාපන අමාත්‍යංශයට අනියුක්ත කර ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

තවත් උපාධිධාරි අභ්‍යාසලාභීන් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලීමක් කළ හොත් ඕනෑම අවස්ථාවක අවශ්‍ය තරම් උපාධිධාරි අභ්‍යාසලාභීන් ලබාදීමට තම අමාත්‍යංශය සූදානම් බව යි රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා අවධාරණය කරන්නේ.

Rate this item
(2 votes)