April 26, 2024

ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඇමැති ජීඑල් හමුවෙයි!

නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ඉන්දියාව ලබා දෙන අඛණ්ඩ සහයෝගය අගය කරන බව විදේශ අමාත්‍ය පීරිස් මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

සාකච්ඡාවේ අවධානය

ඉන්දියානු නාවික හමුදාවේ නෞකා පවා භාවිත කරමින්, නැගෙනහිර ඉන්දියානු වරායන්ගෙන් දියර ඔක්සිජන් තොග සැපයීම පිළිබඳව පීරිස් අමාත්‍යවරයා ඉන්දීය රජයට ස්තූති පළ කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ආගමික සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතික ස්ථාන සංරක්‍ෂණය කර ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් පිරිනැමීම ද විදේශ අමාත්‍ය පීරිස් මහතාගේ ඇගයීමට ලක් වූ අතර, එම කටයුත්ත ඉක්මනින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව උනන්දුවක් දක්වන බව ද ප්‍රකාශ කළ බව එම අමාත්‍යාංශය පෙන්වා දුන්නා.

ඉන්දු - ලංකා එකඟතාවයක්

අවසන් වරට 2016 දී කැඳවනු ලැබූ ඉන්දු-ලංකා ඒකාබද්ධ කොමිසම ඉක්මනින් කැඳවීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශවයම සාකච්ඡා කර තිබෙනවා. මෙම ඒකාබද්ධ කොමිෂන් සභාව යටතේ පවතින අධ්‍යාපනය, විද්‍යාව සහ තාක්‍ෂණය, සංචාරක ව්‍යාපාරය, වෙළඳාම සහ ආයෝජනය, ධීවර කර්මාන්තය සහ බලශක්ති අංශය යන විෂයයන් ආවරණය වන පරිදි පිහිටවන ලද ක්‍රියාකාරී කණ්ඩායම් හය හැකි ඉක්මනින් හමු විය යුතුය යන එකඟතාවයකට පැමිණෙන තිබෙනවා.

ධීවර කටයුතු සම්බන්ධ කරුණු පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර, පවතින ගැටලුවලට අර්ථවත්, ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා දෙපාර්ශ්වයම එකඟ වී ඇතැයි වාර්තා වනවා.

සහයෝගීතාවයේ මට්ටම ගැන සතුටුයි

ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු සහය ලබා දීම ද බෙහෙවින් අගය කර ඇති අතර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කම්හල් පිහිටුවීම කෙරෙහි ද සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබෙනවා.

සමීප අසල්වැසියන් ලෙස, කාලය විසින් පරීක්‍ෂා කරනු ලැබ ඇති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාවල වැදගත්කම අවධාරණය කළ දෙපාර්ශ්වය, වර්තමාන සහයෝගීතාවයේ මට්ටම පිළිබඳව සතුටු වන අතරම, විවිධ අංශවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ මට්ටමක් කරා ගෙන ඒමට තීරණය කළ බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසූවේ.

Rate this item
(0 votes)