April 26, 2024

ධම්මික පැණියේ සායනික වාර්තාව නිකුත් වෙයි - පැණිය බීපු අයට අලුත්ම ආරංචියක්

පසුගිය සමය පුරාවට කොරෝනා සුව කළ හැකි බවට ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වූ කෑගල්ල, හෙට්ටිමුල්ල භද්‍රකාලි කෝවිලේ කපුතුමා වන ධම්මික බණ්ඩාර මහතා විසින් සකස් කළ පැණිය හෙවත් ධම්මික පැණියේ සායනික පරික්ෂණ වාර්තාව නිකුත් වී ඇතැයි ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් මෙම සායනික පරික්ෂණය සිදු කර ඇති අතර ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ කොවිඩ්-19 ආසාදිත රෝගීන් 68 දෙනෙකු යොදාගෙන මෙම පැණිය අත්හදා බලා තිබේ.

මෙම අත්හදා බැලීම සඳහා පැණිය පානය කළ කිසිදු කොවිඩ්-19 රෝගියෙකුගෙන් සුව වීමක් දක්නට නොලැබුණු බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සේනක පිලපිටිය මහතා විසින් එහිදී අනාවරණය කර තිබුණි. නමුත් මීට පෙර මෙම පැණිය වතුපිටිවල මූලික රෝහලේ කොවිඩ් රෝගීන්ට ලබාදීමේදී අනතුරුව 100% ප්‍රතිඵල ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර පවසා තිබුණි.

මෙම සායනික පරික්ෂණයෙන් අනාවරණය කරගත්  සියලු කරුණු සහිත පරීක්ෂණ වාර්තා රජරට විශ්වවිද්‍යාලය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ විද්වත් කමිටුවට යොමුකර ඇති බවත් එම ජාතික පුවත්පත විසින් වාර්තා කර තිබුණි.

ඒ අනුව එම විද්වත් කමිටුව පසුගිය බදාදා (28) දිනයේ රැස්වී ඇති අතර කමිටුව විසින් මෙම සායනික වාර්තාව එහිදී අධ්‍යයනය කර තිබේ. එහිදී විද්වත් කමිටුවේ නිගමනය වී ඇත්තේ කොවිඩ්-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නුසුදුසු බවයි. විද්වත් කමිටු නිර්දේශය රජරට විශ්වවිද්‍යාලයට යොමු කිරීමෙන් පසු ස්ථිර වාර්තාවක් ලබන සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමට නියමිතව තිබේ.

පසුගිය කාලය පුරාවට බොහෝ පිරිසක් කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ නිවස ඉදිරිපිට රැස්ව මෙම පැණිය ලබාගැනීමට කටයුතු කළ අතර සෞඛ්‍ය අමාත්‍යවරිය, කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම පැණිය ලබාගත්හ.

කෙසේ වෙතත් මෙම පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සූත්‍ර කමිටුවද අනුමැතිය ලබාදී ඇති බවත් සඳහන්.

Rate this item
(0 votes)

Related items