April 26, 2024

ආණ්ඩුවේ රතු ඉර පනි: සිරිසේනගේ වෙනම ආණ්ඩු කතාවට පිළිතුරු - ඉන්න බැරිනම් යන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2025 දී වෙනම ආණ්ඩුවක් නිර්මාණය කිරීම පිළිබඳව හිටපු ජනපති, එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේම කරන ප්‍රකාශයට ආණ්ඩුවද පිළිතුරු දී තිබේ.

මේ සම්බන්ධයෙන් රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුව වෙනුවෙන් සඳහන් කරන්නේ ආණ්ඩු හැදිල්ල හැමෝගෙම ආශාවක් බවත් ජවිපෙ අවුරුදු 55ක් තිස්සේම ඒ සඳහා උත්සාහ කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවක් පිහිටුවනවා යයි ප්‍රකාශ කළොත් ඒ ගැන පුදුම විය යුතු නැති වන්නේ ආණ්ඩු පිහිටුවීම දේශපාලනයේ හැටි වන නිසා බවය.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වෙනම ආණ්ඩු කතාවට ප්‍රතිචාර දක්වමින් වැඩිදුරටත් රඹුක්වැල්ල අමාත්‍යවරයා සඳහන් කරන්නේ ආණ්ඩුවත් සමග සිටින පක්ෂ 11 න් එක් පක්ෂයක් සිරිසේන මහතා නියෝජනය කරන බවත් එවැනි එක් සන්ධානගත පක්ෂයක් කිව්වොත් අපි ආණ්ඩුවක් හදනවා කියා ඊට අපේ පූර්ණ ආශිර්වාදය ලබාදෙන බවද අවධාරණය කරයි.

ආණ්ඩු හදන බව ප්‍රකාශ කරන පක්ෂය ඒ සඳහා ආණ්ඩුවෙන් එළියට යෑමක් සිදුවනු ඇති බවද එය ආණ්ඩුවට ප්‍රශ්නයක් නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ශ්‍රීලනිපය වෙනම ආණ්ඩුවක් පිහිටුවීම ගැන කතා කිරීමට හේතුවූ පොදුජන පෙරමුණ ආණ්ඩුව සිය හවුල්කාර පක්ෂවලට නොසලකන බවට කෙරෙන චෝදනාවන්ට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඒක පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වෙනස් වන අතර ආණ්ඩුව තුළ අපූරුවට සිටින කට්ටියකුත් දෙපැත්තෙ කොයි පැත්තේ හිටියත් ඉන්න බැරි කට්ටියකුත් සිටින බවය.

ඒ අයට කොහේ හිටියත් ඉන්න බෑ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ප්‍රශ්න තිබෙනවා නම් ඒවා ඉදිරිපත් කිරීමට පොදුජන පෙරමුණ තුළ ඉඩකඩ තිබෙන බවත් ඒවා සාකච්ඡා කොට විසඳා ගැනීමට හැකි බවත් ඒ විසඳුම්වලට එකඟ වන අයට ආණ්ඩුව තුළ සිටීමට හැකි බවත් බැරි අයට ආණ්ඩුවෙන් එළියට යෑමට බාධාවක් නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා කිසිදු හේතුවක් මත පොදුජන පෙරමුණ විනාශ කර ගැනීමට සූදානම් නැති බවද අවධාරණය කරයි.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 05 April 2021 13:36