April 26, 2024

"අපිට සැලකිල්ලේ අඩුවක් තියෙනවා. ගිවිසුම්වල කිසිවක් වෙලා නෑ" මෛත්‍රී කළකිරීමෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන්, ශ‍්‍රීලනිපයට යම් අසාධාරණයක් සිදුව ඇති බවත් ශ්‍රීලනිපයට සැලකිල්ලේ අඩුවක් තිබෙන බවත් ඒක බොරුවක් නොවන බවත් ශ්‍රීලනිප නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් කරන ලද ගිවිසුම්වල ආකාරයට කිසිවක් සිදු වී නොමැති බවත් එහෙම වුණත්, මේ අවස්ථාවේ තමන් ඒ ගැන කතා නොකරන බවත් දැන් අවශ්‍ය මේ වසංගත තත්ත්වයෙන් රට ගොඩගැනීම බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

"ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ පාර්ශ්වයෙන් අපි එහෙම ගැටලූ දකින්නේ නැහැ. ඊට පරිබාහිර පාර්ශ්වයන්ගෙන් තමයි, අපිට ඔය නොසැලකිල්ල තියෙන්නේ." යැයි සති අන්ත ජාතික පුවත්පතක සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා එලෙස සඳහන් කරන්නේ, බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳවද? යන්න එහිදී ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ,

"එහෙම මම කාගෙවත් නම් සඳහන් කරන්නේ නැහැ. එහෙම වුණත්, ඕනෑම කෙනෙකුට බැලූ බැල්මට ඒ ඇතිවූ තත්ත්වය කුමක්ද කියා තේරෙනවා. ඔය සන්ධානය හැදුනේ කොහොමද, අපි මුලින් ඇති කරගත්ත එකඟතාවන් මොනවාද කියන එක දන්නේ, මමත්, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත්, මහින්ද රාජපක්ෂ මහත්මයාත්, බැසිල් රාජපක්ෂ මහත්මයාත් කියන හතර දෙනා. එහි මුල් බීජයේ ඉඳන්, එකඟතා ගැන අනිත් අය දන්නේ නැහැ. ඒවා දන්නේ අපි හතර දෙනා විතරයි. අනිත් අය දන්නේ නැහැ. ඒ නිසා ඇතිවෙන තත්ත්වයන් වලදී, අපි මූලිකත්වය දෙන්නේ රට සහ මහජනයා පිළිබඳවයි. අපි ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුව තුළ රට සහ ජනතාව ගැන හිතලා, අපි අනිත් ප‍්‍රශ්න අමතක කරනවා. ඔබ අහන ඔය ප‍්‍රශ්න, සමාජයෙන් මතුවෙන්නේ සහ රජයට චෝදනාවක් එන්නේ, මොකද? මේකදී හොඳ විසඳුමක් ආණ්ඩුවේ නායකයන්ට තියෙනවා. ආණ්ඩුවේ නායකයන්ට සහ මේ රජය බලයට ගේන්න වැඩ කරපු අනෙක් පක්ෂ සමග සංවාදයක් පැවැත්වීම අත්‍යාවශ්‍යයි. ඔය වැඬේ පාර්ලිමේන්තුවේ කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ ස්වභාවය ඊට වඩා වෙනස්. ඒ සඳහා මාස දෙකකට පමණ වරක්, මේ රජය බලයට පත්කරන්න වැඩ කරපු පක්ෂ සහ කණ්ඩායම් සමග රජයේ නායකයන් සංවාදයක්, සාකච්ඡාවක් තියෙනවා නම් ඔය චෝදනාව රජයට එන්නේ නැහැ. මේ වෙලාවේ ඒ වගේ දේශපාලන කාරණා අරගෙන ළඟ බලන එක නෙමෙයි අපි කරන්න ඕනේ, රට ගැන හිතලා දුර බලන එක"

Rate this item
(0 votes)