April 26, 2024

පාස්කු කොමිසමේදී හිටපු අමාත්‍ය සාගල රත්නායක කළ අනාවරණය

තමන් නීතිය හා සාමය විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සහරාන් හෂීම් පිළිබඳ සාකච්ඡා නොවූ බව හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබාදීම සඳහා පසුගිය ආණ්ඩුව සමයේ හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා පැමිණියේ පළමු වරටය.

එහිදී සාක්ෂි ලබාදෙමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ 2015 වර්ෂයේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසු එතෙක් එකම අමාත්‍යාංශයක් යටතට වැටුණු ආරක්ෂාව සහ නීතිය හා සාමය යන විෂය පථයන් අමාත්‍යංශ දෙකක් යටතේ පවතින ලෙස වෙන් කෙරුණු බවය.

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය විමසා සිටියේ ඔබ නීතිය හා සාමය විෂයභාර අමාත්‍යවරයාව සිටි කාලය තුළ යුද හමුදා බුද්ධි අංශවලින් සහ රාජ්‍ය බුද්ධි සේවයෙන් ඔබ වෙත වාර්තා සැපයීමක් සිදු කළේද යන්නය.

සාගල රත්නායක මහතා ඊට මෙසේ පිළිතුරු ලබාදී තිබුණි.

"රාජ්‍ය බුද්ධි සේවය තොරතුරු වාර්තා කළේ ආරක්ෂක ලේකම්වරයාට පමණයි. නමුත් නීතිය හා සාමය සම්බන්ධයෙන් වැදගත් වෙන වාර්තා මට යොමු කරනවා. මට ඒ වගේ වාර්තා 407 ක් පමණ ලැබිලා තියෙනවා. යුද හමුදා බුද්ධි අංශ නම් මට වාර්තා ඉදිරිපත් කළේ නැහැ." 

ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය නැමැති ආයතනයක් හරහා බුද්ධි තොරතුරු විශ්ලේෂණය කර ඉදිරිපත් කෙරෙන බව ඔබ දැනසිටියේදැයි මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු ලෙස සාගල රත්නායක මහතා කියා සිටියේ තමන් මෙම අවස්ථාව වන තෙක් එවැනි ආයතනයක් හෝ එවැනි ක්‍රියාවලියක් පිළිබද දැන නොසිටි බවය.

එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය විමසා සිටියේ ඔබ බුද්ධි සම්බන්ධිකරණ රැස්වීම් කොපමණ ප්‍රමාණයකට සහභාගී වුණා ද යන්නය.

එයට පිළිතුරු දුන් සාගල රත්නායක මහතා, තමන් සහභාගී වු බුද්ධි සම්බන්ධිකරණ රැස්වීම් ගණන පිළිබඳ නිශ්චිත මතකයක් නොමැති වුවද, ජාතික ආරක්ෂක කවුන්සිල 09 කට පමණ ආරාධනා ලැබි ඇති අතර ඉන් බොහෝ ප්‍රමාණයකට සහභාගි වූ බව පැවසීය.

එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය පෙරළා ප්‍රශ්න කළේ ඔබ සහභාගී වු ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම්වල දී සහරාන් හෂීම් පිළිබඳ සාකච්ඡා වුයේ ද යන්නය.

"නැහැ මට එහෙම මතකයක් නැහැ. එහෙම කතා වුණානම් මම ගත්තු පියවර ගැන සොයා බලනවා. නීති උපදෙස් ගත්තද කියලා සොයා බලනවා," යනුවෙන් හිටපු අමාත්‍යවරයා පිළිතුරු ලබාදී තිබුණි.

එම ජාතික ආරක්ෂක කවුන්සිලවල දී සහරාන් අත්අඩංගුවට ගන්න කියා එවකට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබුණේ ද යන්න එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය විමසා සිටියාය.

සාගල රත්නායක මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊට පිළිතුරු ලබාදෙමින් සඳහන් කර සිටියේ" නැහැ.. කිසිදු අවස්ථාවක නැහැ." යනුවෙනි.

Rate this item
(0 votes)