May 06, 2024

තරුණ අරගලය අතට ගන්න ජවිපෙ සූදානම්! අනුර කුමාර සුබ පතයි

රට පුරා තැන තැන පැන නැගී ඇති සියලු තරුණ අරගල සටන් සහ නැගිටීම් පොදු එක්සත් ව්‍යාපාරයක් තුළට ගෙන ඒම සඳහා නායකත්වය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.

එම අරගල එකතැන වේලීමට හෝ මියැදීමට ඉඩ ලබා දිය යුතු නැති බවයි ඔහු කියා සිටියේ.

අරගලය ඉදිරියට ගෙන යා යුත්තේ වෙන් වෙන්ව නොව එක්සත්ව එකමුතුව බවද දිසානායක මහතා පැවසුවා. 

ඒ සඳහා දේශපාලන නායකත්වයක් සහ මගපෙන්වීමක් අත්‍යවශ්‍ය බවද හෙතෙම සඳහන් කළා.

සමාජය නව පරිවර්තනයක් ඉල්ලා සිටින අවස්ථාවක එවැනි කටයුත්තක් සඳහා නායකත්වය දීම අත්හළ නොහැකි වගකීමක් බව පෙන්වා දෙන දිසානායක මහතා තැන තැන පැන නැගී ඇති සියලු අරගලයන්ට ජනතා විමුක්ති පෙරමුණ ධෛර්යය සහ සුබ ප්‍රාර්ථනා කරන බවද කියා සිටියා.

එය නොනවත්වා ඉදිරියට ගෙන යන ලෙස ඉල්ලා සිටින බවද අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

තරුණ පරම්පරාව අනතුරේ ඉව දැනී අන් කවරදාටත් වඩා වේගයෙන් අවදි වී ඇති බවත් එය සුවිශේෂී තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවය නිර්පාක්ෂික විරෝධයක් ලෙස පැවැත්වෙන අතර ඊට මේවන විට කිසිදු පක්ෂයක නායකයින් සහභාගී නොවුණි.

Rate this item
(0 votes)