April 27, 2024

ගුරුවරු 84ක් වැඩ නෑ – ඒත් පඩි අරන්

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් පාසල්වල කිසිදු කාර්යයක් සිදු නොකරමින් වැටුප් ලබන ගුරුවරු 84 දෙනෙකු සිටින බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මෙම ගුරුභවතුන් විවිධ රෝගී තත්වයන්ගෙන් පෙලෙන අතර මේ පිළිබද තොරතුරු දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකොට තිබෙනවා. 

මෙකි ගුරුභවතුන්ගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධව ප්‍රමාණවත් වෛද්‍ය වාර්තා ලබාගෙන සුදුසු පරිදි කටයුතු කළයුතු බව විගණනය මගින් නිර්දේශ කර තිබෙනවා.

දකුණු පළාත් සභාවේ 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ දැක්වෙනවා.

මේ පිළිබද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතාගෙන් අප කළ විමසුමකදි මෙසේ පැවසුවා.

“මේ කථාව ඇත්ත. නමුත් මෙම ගුරුභවතුන් පාසල්වල යම් යම් කාර්යයන් සදහා යොදවලා තියෙනවා. මෙකි ගුරුභවතුන් නිදන්ගත රෝගබාධවලට ලක්වෙලා ඉන්න අය. ඒ අයට සාමාන්‍ය විදියට වැඩකරන්න බැහැ. මෙම ගුරුභවතුන් ගුරුසේවයට බදවාගත් පසු තමයි විවිධ රෝගාබාධවලට ලක්වෙලා තියෙන්නේ. මෙහි මානුෂික තත්වයක් ද තියෙනවා. මෙම ගුරුභවතුන් වයස 55 වෙනතෙක් තබා ගන්න වෙනවා. මෙකි ගුරුභවතුන්ගේ වෛද්‍ය වාර්තා වෛද්‍ය මණ්ඩලයට යොමුකොට ඇතත්  විශ්‍රාම ගැන්විම සදහා නිර්දේශ ලබාදෙන්නේ නෑ.”

Rate this item
(0 votes)