April 27, 2024

වර්ජනයෙන් ක්ෂේත්‍ර රැසක් අඩාලයි – කම්කරුවොත් වැඩ අත් හරී

ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් අද (28) දැවැන්ත සංකේත වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසනවා.

‘ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාව යටතේ මෙම වෘත්තීය අරගලය සංවිධාන කර ඇති අතර වෘත්තීය සමිති දහසකට අධික සංඛයාවක් මේ සඳහා එක්ව සිටින බවයි එහි නියෝජිත රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ.

අධ්‍යාපන, ප්‍රවාහන, වතු, වරාය, විදුලිබල, බැංකු, තැපැල්, සමෘද්ධි, සංවර්ධන නිලධාරී, කම්කරු සහ වෙළඳ කලාප ඇතුළු සෑම ක්ෂේත්‍රයකම පිරිස් මෙම වර්ජනයට එක්ව සිටිනවා.

මේ අතර මෙම වර්ජනය හේතුවෙන් රාජ්‍ය සේවාවලට බාධා එල්ල විය හැකි බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ප්‍රකාශ කළා.

මේ අතර දඹුල්ල ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ දඹුල්ල, නාවුල, සීගිරිය, ගලේවෙල ආදී ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික සේවා ආයතන රැසක සේවාවන් අද (28) පෙරවරු වන විට මන්දගාමී ස්වභාවයක් පැවති බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට උදෑසන ඉතා සීමිත එළවළු තොග ප්‍රමාණයක් ගොවීන් විසින් රැගෙන විත් තිබූ බවත් ඒවා මිලදී ගැනීමට පිටස්තර වෙළෙන්දන් නොපැමිණි බවත් අප වාර්තාකරු සඳහන් කළා.

අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ දඹුල්ල බස් නැවතුම්පොලේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ රැසක් ධාවනයට එක් කොට තිබුණු අතර ඇතැම් පෞද්ගලික බස් රථ ද සීමා සහිතව ධාවනයට යොදවා තිබෙන අයුරු දැක ගැනීමට හැකි වූ බවත් මගීන්ගේ විශාල අඩුවක් පවතින බවයි.

එමෙන්ම ඒෂියන් මිරර් හැටන් වාර්තාකරු සඳහන් කළේ වැඩ වර්ජනයට සහයෝගය දක්වා වතු කම්කරුවන් ප්‍රධාන මාර්ග වලට පිවිස අද (28) දින උද්ඝෝෂණයේ නිරත වුණා.

හැටන් දික්ඔය ප්‍රදේශයේ වතු කම්කරුවන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයට පිවිස උද්ඝෝෂණයේ නියැලි සිටි අතර, රට කරවිය හැකි පිරිසකට රටේ පාලන බලය ලබා දි වත්මන් රජයට පාලන බලයෙන් ඉවත් වන ලෙසට උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් පැවසුවා.

Rate this item
(0 votes)