May 02, 2024

ආණ්ඩුවේ තව පිරිසක් තීන්දුවකට සැරසෙයි! පසුපෙල 13ක් ජනපතිට ලිපියක් යවයි

ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් 13දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි.

එම මන්ත්‍රීවරුන් ඉකුත් 19 වනදා කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් ලිපියක් ද බාරදී ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවා.

පසුපෙල පිරිසක් සටනට

නව අගමැතිවරයකු යටතේ, සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙසද එම මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම මන්ත්‍රීවරුන් 13 ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පිරිසක් බවයි වාර්තා වන්නේ.

තීන්දුවක් ගන්න සූදානම්

ඒ අනුව ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන වසන්ත යාපා බණ්ඩාර, උදේනි කිරිදිගොඩ, කුමාරසිරි රත්නායක, කේ පී එස් කුමාරසිරි, රාජිකා ව්ක්‍රමසින්හ, අකිල එල්ලාවල, ලලිත් එල්ලාවල, අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, සුදත් මංජුල ඇතුළු මන්ත්‍රීවරුන් 13 දෙනකු මෙම ලිපියට අත්සන් තබා ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටියා.

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් තමන්ට ද හෘද සාක්ෂිය අනුව තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇතැයි එම මන්ත්‍රීවරුන් ලිපියෙන් දැනුම් දී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

හිටපු ඇමති ස්වාධීන වෙන්න යයි

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු, 20 වන ව්‍යවස්ථා සංශෝධනයේදී රජයට සහය පළ කළ මුස්ලිම් මන්ත්‍රීවරයෙකු ඇතුළු ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 12 කට අධික පිරිසක් ඉදිරියේදී ස්වාධීන වීමට තීරණය කර ඇති බවයි.

එසේ වුවහොත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවී යාමේ අවදානමක් මතුව තිබෙනවා.

මේවන විට ආණ්ඩුවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 117 දක්වා පහත වැටී තිබෙනවා.

බහුතරය අවුලක්

මීට පෙර ආණ්ඩුවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 159 ක්ව පැවති අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ,  නිදහස් පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 42 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර, සුරේන් රාඝවන් සහ එස්.එම්. මුෂාරෆ් යළි ආණ්ඩුවට සහය පළ කිරීමත් සමඟ එම ස්වාධීන මන්ත්‍රී සංඛ්‍යාව 39 දක්වා පහත වැටුණු අතර, මන්ත්‍රීවරුන් 3 දෙනෙකු අද ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග එම සංඛ්‍යාව යළි 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rate this item
(1 Vote)