May 05, 2024

ඖෂධ හිඟය සිරගෙටත් දැනෙයි! ආහාර අර්බුදයකුත් මතුවෙයි

වැලිකඩ බන්ධනාගාරය තුළ දැඩි ඖෂධ හිඟයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

බන්ධනාගාර ආරෝග්‍ය ශාලාවේ පවතින මෙම ඖෂධ හිඟයෙන් රැඳවියන් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවයි එම බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පිරිටන්, පැනඩොල් වැනි සුළු රෝගාබාධ සඳහා භාවිත කරන ඖෂධ වර්ග පමණක් නොව දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නොවන රෝග සඳහා භාවිත කරන ඖෂධ ද බන්ධනාගාරය තුළ නොමැති බව සඳහන්.

එමෙන්ම උපකරණ වලට අවශ්‍යය කඩදාසි නොමැති වීම හේතුවෙන් හෘද රෝගීන් සඳහා යොදාගන්නා ඊසීජී( ECG) පරීක්ෂණ ද බන්ධනාගාරය තුළ නතර වී ඇති බව වාර්තා වෙනවා.

මෙම තත්ත්වයත් සමඟ නිදන්ගත රෝගවලින් පෙළෙන රැඳවියන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින අතර ඔවුන් සිය සෞඛ්‍ය තත්ත්වය සහ ජීවිතය පිළිබඳ මහත් බියෙන් පසුවන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ හරහා රෝගී තත්ත්ව වලින් පෙළෙන රැඳවියන් දැඩි මානසික ආතති තත්ත්වයකට පත්ව ඇති බවයි තවදුරටත් වාර්තා වන්නේ.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්හට ආහාර සැපයීමේ ක්‍රියාවලිය ද අර්බුධකාරී වී ඇති බව ද එම අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 April 2022 15:43