May 04, 2024

රට පුරා මගී බස් රථ අඩපණ වන ලකුණු - තැන තැන වැඩවර්ජන

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මිල ඉහළ දැමීමත් සමග ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාව පළ කිරීම සදහා ඔවුන් මෙලෙස බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බවටයි වාර්තා වන්නේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඒෂියන් මිරර් වෙත සදහන් කළේ අද (19) උදෑසන කාලයේ සිට දිවයිනේ ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ හිමියන් සිය ධාවන කටයුතුවලින් ඉවත් වී ඇති බවයි.

මේ අතර අද උදෑසන සිට ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සහ ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශ කිහිපයක විරෝධතා ද ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව රඹුක්කන ප්‍රදේශයේ සිදු කරන විරෝධතාවක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව සදහන්.

මේ අතර සිපෙට්කෝ ඉන්ධන මිල ඉහල නැංවිමට එරෙහිව නාවලපිටිය නගරයේ පෞද්ගලික බස් රථ හිමියන්, රියදුරන් සහ කොන්දොස්තරවරුන් හැටන් මහනුවර ප්‍රධාන මාර්ගය නාවලපිටිය බස් නැවතුම්පොල අසලින් අවහිර කරමින් අද (19) උද්ඝෝෂණයක නිරත වූ බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

පෞද්ගලික බස් රථ කිහිපයක් නාවලපිටිය බස් නැවතුම්පොලින් අවහිර කර උද්ඝෝෂණය සිදු කිරිම හේතුවෙන් ලංගම බස් රථ ධාවනයට බාධා මතු වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්ධන මිල ඉහළ දැමිමත් සමග ආණ්ඩුවට විරෝධය පලකරමින් ගාල්ල නගරයට පිවිසෙන මාර්ග අවහිර කරමින් පුද්ගලික බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් විසින් අද (19) උදෑසන විරෝධතාවයක් ආරම්භ කරනු ලැබූ බව බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

පුද්ගලික බස්රථ ධාවකයින් විසින් බස්රථ ගෙනවිත් දමා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ගාල්ල නගරයෙන් හරස්කරමින් විරෝධතාවය ආරම්භ කෙරුණා.

මේ නිසා ගාල්ල නගරයට පිවිසෙන මාර්ග අවහිර වී ඇති අතර දැඩි රථවාහන තදබදයක් ද ගාල්ල නගරය තුල දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 April 2022 19:25