May 05, 2024

රස කැවිලිත් ගණන් උස්සයි

සිංහල දෙමළ අලුත් අවුරුද්ද ආසන්නයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් මෙන්ම රසකැවිලිවල මිල ගණන්ද ඉහළ යාම හේතුවෙන් මේ වනවිට පාරිභෝගිකයින් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

රසකැවිලි සකස් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන පොල්තෙල්, මුංඇට, සීනි, බිත්තර ඇතුලු අනෙකුත් ද්‍රව්‍යවල මිල ගණන් මේ වනවිට පවතින්නේ ඉහළ මට්ටමකයි.

පොල්තෙල් බෝතලයක් රුපියල් 700ත් 800ත් අතර මිලකටත්, මුං ඇට කිලෝග්‍රෑමයක් රුපියල් දහස දක්වා ඉහළ ගොස් ඇති බව වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළා.

එමෙන්ම වෙළඳපොලේ අලෙවි කෙරෙන නිෂ්පාදිත රස කැවිලිවල මිල ගණන්ද මේ වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

කොණ්ඩ කැවුම්, අතිරස සහ මුං කැවුමක මිල රුපියල් 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පෙර වර්ෂවල කැවුමක මිල පැවතියේ රුපියල් 40ක මිලකට යි.

කැවුම්වල මිල මෙන්ම කොකිසක මිලද රුපියල් 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම පැණි වළල්ලක මිල ද රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මීට පෙර පැණි වළල්ලක් වෙළඳපොලේ අලෙවි වූයේ රුපියල් 35ත් 40ත් අතර මිලකට යි.

ආස්මි මිල ගණන්ද රුපියල් 120 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර එය පැවතියේ රුපියල් 90 ක මිලකට යි.

අලුවා කෑල්ලක මිලද රුපියල් 35 සිට 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි රසකැවිලි අලෙවිකරුවන් සඳහන් කළේ.

කැවිලි පෙවිලි නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන මූලික අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් සිය නිෂ්පාදනවල මිල ඉහළ දැමූ බවයි රසකැවිලි නිෂ්පාදකයින් සහ අලෙවි කරන්නන් සඳහන් කළේ.

බේකරි හිමියන්ගේ සංගමය පසුගියදා අනාවරණ, කළේ කේක් කිලෝග්‍රෑමයක මිල අද වනවිට රුපියල් 1000 ඉක්මවා ඇති බවයි.

Rate this item
(0 votes)