May 20, 2024

යෝගට්, චීස්, බටර් මිල ඉහළට! අද රාත්‍රියේ සිට වැඩිවන භාණ්ඩ ලැයිස්තුව

මාර්තු මස 10 වනදා සිට ආරම්භ වී මාස 6ක කාලයක් ක්‍රියාත්මක වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පිළිබද ඊයේ (17) වාර්තා වුණා.

ඒ අනුව ආනයන සීමාවන්ට අමතරව ආනයනික පලතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9 ක් සඳහා පැනවු විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ නැංවීම ඉදිරි මාස 06ක කාලයක් සදහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

පසුගිය 10 වැනිදා සිට ආරම්භ වන පරිදි රජයේ විශේෂ වෙළද භාණ්ඩ බදුපනත යටතේ මෙලෙස බදු ඉහළ නැංවීම සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යවරයා විසින්.

2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ වන ගැසට් නිවේදනය ප්‍රකාරව මෙම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව යෝගට්, චීස්, බටර්, රටඉඳි, දොඩම්, මිදි, ඇපල් ඇතුළු අනෙකුත් පලතුරුවල බදු ඒ අනුව ඉහල යනු ඇති.

පසුගියදා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් ආනයනය කිරීමට සීමා පැනවූ අතර, ආනයනික පලතුරු ද ඊට ඇතුළත් වුණා.

මේ අතර, පසුගිය මාර්තු 03 වැනිදා 2017 අංක 48 දරණ විශේෂ වෙළද භාණ්ඩ බදු පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා විසින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් නියමකර තිබෙනවා.

මැකරල් කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 600ක්, කවුපි කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 200ක් සහ කුරක්කන් කිලෝග්‍රෑමයකට රුපියල් 70 ක ආනයනික බදු ඒ අනුව පැනවෙනු ඇති.

මේ අතර අක්‍ෂි කාච, ස්ටෙන්ට්, ඔක්සිමීටර් සහ ග්ලුකෝ මීටර් මිල ගණන් අද (18) රාත්‍රියේ සිට වැඩි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මිල පාලනයකට ලක් කර ඇති මෙම වෛද්‍ය උපකරණවල මිල ගණන් 29%කින් වැඩි කිරීමේ වාර්තාව ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් අමාත්‍යාංශයට ලබාදී තිබෙනවා.

ඒ අනුව හෘද රෝග ශල්‍යකර්ම සඳහා භාවිත කරන ස්ටෙන්ට් එකක මිල රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න වන බව ද අනාවරණය වනවා.

කෙසේ වෙතත් අක්‍ෂි කාච වර්ග 38ක මිල නියාමනය කර ඇති අතර ඒවායේ මිල ගණන්ද විවිධ ප්‍රමාණවලින් වැඩි වෙනවා.

ඖෂධ වර්ග හැටක මිල ගණන්ද 29%කින් ඉහළ දමමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළා.

Rate this item
(0 votes)