May 03, 2024

මහා විනාශයක්! කෙසෙල් ගස්වලට විෂක් එන්නත් කරලා - පොලීසිය නිහඩයි (PHOTOS)

February 21, 2022

අම්බලන්තොට, ලෝළුපතාන ප්‍රදේශයේ අක්කර දෙකක පමණ කෙසෙල් වගාවක සිටවා තිබු කෙසෙල් ගස් 2500කට පමණ යම් කිසි පිරිසක් විසින් විෂ රසායනික ද්‍රව්‍යයක් එන්නත් කර විනාශ කර තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

ඒ පිළිබඳ අදළ කෙසෙල් වගාවේ හිමිකරු වන ආර්.එම් ඥානපාල මහතා විසින් පසුගිය 16 වනදා අම්බලන්තොට පොලිසියට පැමිණිල්ලක්ද යොමුකර තිබෙනවා.

කෙසෙල් කැන් පීදී තව මසකින් පමණ අස්වනු නෙලීමට ආසන්නව තිබු මෙම කෙසෙල් වගාවේ කෙසෙල් ගස් පසුගිය දින කීපයක සිට කඩාවැටීමට ලක්වීම නිසා ඒ සම්බන්ධයෙන් පරික්ෂා කර බැලීමේදී කෙසෙල් ගස් සදහා යම් විෂ රසායනික ද්‍රව්‍යයක් එක් කර ඇති බව දැනගත් බවයි කෙසෙල් වගාවේ හිමිකරු පවසා සිටියේ.

''එක තණකොළ ගහක්වත් වැවෙන්න දෙන්නේ නැතිව මම මේ කෙසෙල් වගාව බලාගත්තේ. මේකට රුපියල් ලක්ෂ 20ක් පමණ මම වියදම් කරලා තියෙනවා මේකේ අස්වනු නෙලා ගත්තනම් ලක්ෂ 40ක් පමණ මට ලාබයක් ගන්නත් පුළුවන්. නමුත් තව මාසයකින් පමණ අස්වනු නෙලා ගැනීමට තිබු මගේ වගාව කවුරු හරි වස විදලා විනාශ කරලා. මේ අපරාධ කරුවන් හොයල දඩුවම් දෙන්න කියල තමයි මම ඉල්ලා සිටින්නේ'' යැයිද ආර්.එම් ඥානපාල මහතා කියා සිටියා.

එමෙන්ම පසුගිය 16 වනදා තම කෙසෙල් වගාවට සිදුකළ මෙම අපරාධය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසියට පැමිණිකලත් ඊයේ (20) දහවල් වන තුරු කිසිදු නිලධාරියෙකු පරීක්ෂණයක් සදහා නොපැමිණි බව ඔහු සඳහන් කළා.

කෙසේ නමුත් අම්බලන්තොට පොලිසියේ උසස් නිලධාරියෙකු ඒෂියන් මිරර් වෙත කියා සිටියේ කෙසෙල් වගාව විනාශ කිරීම සම්බන්ධයෙන් ගොවිජන සේවා නිලධාරීන් දැනුවත් කරන ලෙස පොලිසියේදී අදාල පැමිණිකරුට උපදෙස් ලබාදුන් බවයි.

Rate this item
(0 votes)