May 10, 2024

සිමෙන්ති දෙන්නේ කමිබ් ගත්තොත් විතරයි! කළුකඩ මාෆියාව ජයටම

February 09, 2022

ගොඩනැගිලි ද්‍රව්‍ය සදහා ඇති ඉල්ලුම විශාල වශයෙන් අඩුවි ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

විශේෂයෙන් සිමෙන්ති හිගයත් සමග වැලි, කළුගල්, යකඩ ඇණ, පොටි ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය වල ඉල්ලුම පහත ගොස් ඇති බව ගාල්ලේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් හිමියන් ප්‍රකාශ කළා.

මෙම තත්වය නිසා කළුගල් මෝල් හිමියන්ද දැඩි අසරණ තත්වයට පත්ව ඇති බවත් කළුගල් සදහා ඇති ඉල්ලුම ද මේ දිනවල අඩුවි ඇති බවත් කළු ගල්මෝල් හිමියන් සඳහන් කරනවා.

වෙළදපොළේ කළුකඩ මිලක්

සිමෙන්ති සදහා වෙළදපොළේ කළුකඩ මිලක් නිර්මානය වි ඇති බවත් මහා පරිමානයෙන් සිමෙන්ති බෙදාහරිනු ලබන ඇතැම් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් නියෝජිතයින් සිමෙන්ති කොට්ටය රුපියල් 1800 - 2000 වැනි අධික මිල ගණන්වලට අලෙවි කරණ බවත් සුළු පරිමාන ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළදසැල් හිමියන් චෝදනා කරනවා.

ගාල්ලේ සිමෙන්ති අලෙවි කිරිමේ දි මාපියාවක් ක්‍රියාත්මක වන බවත් මේ නිසා පාරිභෝගිකයින් සුරාකෑමට ලක්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙන්වා.  

සිමෙන්ති දෙන්න කම්බි ගන්න

අක්මිමන කුරුදුවත්ත ප්‍රදේශයේ සුළුපරිමාන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් හිමියකු වන චමින්ද ගුරුසිංහ මහතා ඒෂියන් මිරර් වෙත මෙසේ සඳහන් පළ කළා.

"ගාල්ල දිස්ත්‍රික්කයේ මහාපරිමානයෙන් සිමෙන්ති බෙදාහරිනු ලබන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් නියෝජිතයින් 06 දෙනෙකු ඉන්නවා. ඒ අයට එක් සිමෙන්ති කොට්ටයකින් රුපියල් 800ක් තියෙනවා. මහාපරිමාන අලෙවි නියෝජිතයින් අපේ කඩවල්වලටත් සිමෙන්ති ලබාදෙන්නේ කොට්ටයක් රුපියල් 1700 - 1800 ක මුදලකට. ගාල්ලේ සිමෙන්ති බෙදාහරින අලෙවිසැල්වල සිමෙන්ති තියෙනවා. පෝලිමේ තියලා රුපියල් 1375 ගානේ කොට්ට දෙකක් දෙනවා. අනික් ඒවා රුපියල් 1800 වැනි වැඩි මුදලකට තමයි අලෙවි කරන්නේ. මේ අයගෙන් සිමෙන්ති මිලදි ගන්න ගිය විට කම්බි යකඩ මිලදි ගන්නත් කියලා කියනවා. නැතිනම් සිමෙන්ති දෙන්නේ නැහැ කියලා. පාරිභෝගිකයින් අපිට ඇවිත් කියනවා."

"අපි වෙනදා සිමෙන්ති කොට්ට හය හත්දහසක් අලෙවි කළා. නමුත් මේ අය වැඩිමිලට එම ස්ථානයේ තියාගෙනම සිමෙන්ති අලෙවි කරණවා. ඇත්තටම අපි අසරණවෙලා ඉන්නේ. මගේ වෙළදසැලේ සේවකයින් 12ක් විතර ඉන්නවා ඒ අයට වැටුප් ගෙවිමටත් නොහැකිවෙලා තියෙන්නේ. සිමෙන්ති හිගය නිසා අනිකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි වෙන්නේ නැහැ."

ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිය පහලට

ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් හිමියකු වන ජි. ජාගොඩ මහතා මෙසේ කියා සිටියා.

"සති තුනකට සැරයක් තමයි අපිට සිමෙන්ති ලැබෙන්නේ. සිමෙන්ති කොට්ට 20ක් විතර තමයි ලැබෙන්නේ. සිමෙන්ති හිගකම නිසා අනිකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි වෙන්නේ නැහැ. තේ වෙළදසැලක පාන් නැති වගේ තමයි ගොඩනැගිලි  ද්‍රව්‍ය අලෙවි සැලක සිමෙන්ති නැහැ කියලා කියන්නේ. ඇතමුන් පාරවල් වල තියාගෙන සිමෙන්ති වැඩිමිලකට අලෙවි කරනවා."

පාරිභෝගික කටයුතු පිළිබද ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ සිමෙන්ති සලකුණු කළ මිලට වඩා වැඩිමිලට අලෙවි කරණ වෙළෙඳසැල් හිමියන් සොයා වැටලිම් සිදු කරගෙන යන බවයි.

Rate this item
(1 Vote)