May 04, 2024

සත්වෝද්‍යාන අධ්‍යක්ෂවරිය ඉල්ලා අස්වෙයි! ජනපති ලේකම්ට ලිපියක් යවයි

කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමා සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවා.

දෙහිවල සත්වෝද්‍යානයේ අක්‍රමිකතාවලට සම්බන්ධ සේවකයින් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා තෙක් තමන් සේවයට වාර්තා නොකරන බවයි ඇය සඳහන් කළේ.

ඒ පිළිබද තමන් ජනාධිපති ලේකම්වරයා සහ වනජීවි හා වන සංරක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරිය පැවසුවා.

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් මියයාම මෙන්ම රෝගීවීම පිළිබද පශූ වෛද්‍යවරුන් සහ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සොයා නොබැලීමට විරෝධය පළ කරමින් සේවකයන් පිරිසක් දින තුනක් පුරා වර්ජනයක නිරත වුණා.

වෘත්තීය සමිති නිලධාරීන් විසින්ම පිහිටුවාගෙන තිබූ සුබසාධක සමිතිය මගින් රජයේ මුදල් අවභාවිත කරමින් අයුතු ලාභ ඉපැයිම සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශනවලට එරෙහිව ඔවුන් එලෙස තමන්ට චෝදනා එල්ල කරන බව ශර්මිලා රාජපක්‍ෂ මහත්මිය සඳහන් කළා.  

දින 14 ක් තුළ ඒ පිළිබද පරීක්‍ෂණයක් පවත්වා තමන් වෙත රාජකාරී කිරීමට හැකි වාතාවරණයක් සකස් කරන මෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය, ජනාධිපති ලේකම්වරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යැවූ ලිපියේ සදහන්. 

එසේ නොවන්නේ නම් තමන්  එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි ශර්මිලා රාජපක්‍ෂ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ.    

Rate this item
(0 votes)
Last modified on Sunday, 23 January 2022 10:21