May 06, 2024

එජාපයට තවත් අසුනක් අහිමි වෙයි

මෙතෙක් එක්සත් ජාතික පක්ෂයට බලය හිමිව තිබූ ගඟවට කෝරලය ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන තිබෙනවා.

ඒ එම පක්ෂයේ නව සභාපති ලෙස ඩී.ඒ.ධර්මසේන මහතා තෝරා පත්වීමත් සමග යි.

මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සභා ශාලාවේ දී ඊයේ (17) පැවැත්වුණු නව සභාපතිවරයා තෝරා ගැනීමේ අවස්ථාවේදීයි මෙම නව පත් කිරීම සිදු කෙරුණේ.

අයවැය පිට පිට දෙවතාවක් සභා සම්මත නොවීම නිසා හිටපු සභාපති සුභාෂ් යටවර මහතා තනතුර හැරගියා සේ සලකා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා විසින් පළාත් පාලන පනත අනුව සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා උප සභාපතිවරයාව පත් කරනු ලැබුවා.

ඒ අනුව නව සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 09 දෙනාත් ශ්‍රී ලංකා නිදහස් පකෂයේ මන්ත්‍රීවරු දෙදෙනාත් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු දෙදෙනාත්, එජාපයේ එක් මන්ත්‍රීවරයෙකුත් මෙදින සභාවට පැමිණ සිටියා.

කෙසේවෙතත් මෙම අවස්ථාවට හිටපු සභාපති සුභාෂ් යටවර මහතා ඇතුළු එ.ජා.ප මන්ත්‍රීවරු 08 දෙනෙකු මෙදින සභාවට නොපැමිණීම ද විශේෂත්වයක්.

සභාපති ධුරය සඳහා ඩී.එම් ධර්මසේන මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ චමින්ද කරුණාරත්න මහතා විසින් යෝජනා කළ අතර, එය ස්ථිර කරනු ලැබුවේ එම පක්ෂයේ එම්.චාමිකර මහතා විසින්.

වෙනත් කිසිවෙකු සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ඡන්ද විමසීමකට නොගොස් එම්.ඒ. ධර්මසේන මහතා එම ධුරයට පත් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවේ දී මහනුවර - ගඟවට කෝරලය ප්‍රාදේශීය සභාව අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබෙනු ද දැකිය හැකි වුණා.

(මහනුවර කේ.එල්.සුරවීර)

Rate this item
(0 votes)